May 18, 2024

මංගල සමුගත් පසුව ජවිපෙ හෙළි කළ කතාව

කොවිඩ්-19 රෝගය නිසා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට දේශපාලනය තුළ ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා අද (24) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතයට සමු දුන්නා.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසුව මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු බොහෝ දෙනෙකු ශෝක ප්‍රකාශ නිකුත් කර තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ද මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ මෙරට දේශපාලන තුළ තීරණාත්මක අවස්ථාවලදී මංගල සමරවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අපගේ ශෝකය!

හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වී තිබේ.

මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය. 

ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.  

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු. 

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2021.08.24

Rate this item
(4 votes)
Last modified on Tuesday, 24 August 2021 15:22