April 27, 2024

"මතක මංගල" තෙමස්පූර්ණය - අවසන් ගෞරව දක්වන්න අවස්ථාවක්

November 20, 2021

දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් විසින් සංවිධානය කරනු ලබන පෞද්ගලික සහ පොදු කාර්යයන් රාශියකින් සැදුම්ලත් "මතක මංගල" වැඩසටහන ලබන 23 වැනිදා සිට 26 දක්වා සිව්දිනක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා.

රටම අගුලු දමා දැඩි වසංගත තහංචි ක්‍රියාත්මක වූ මොහොතක පසුගිය අගෝස්තු 24 වෙනිදා හදිසියේ සිදුවූ ඛේදජනක අවසන් සමුගැනීම හේතුවෙන් මංගල සමරවීර මහතාගේ ජීවන ගමනේ විවිධ කාලවලදී ඔහු සමඟ එක්ව කටයුතු කල සැමට ඔහු ගේ මෘත දේහය දැකබලා ගැනීමට හෝ තම අවසන් ගෞරව පුද කිරීමට පවා නොහැකි වුණා.

ඒ අනුව "මතක මංගල” වැඩසටහන මගින් මංගල හඳුනන සෑම අයෙකුටම, ඔහුව සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ගෞරවය දැක්වීම පිණිස අවස්ථාවක් ලබා දීමට සමරවීර පදනම කටයුතු යොදා තිබෙනවා.

"මතක මංගල” වැඩසටහන් මාලාව සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රයෙන් අනුව අද (20) වැනි සෙනසුරාදා මාතර බෝධියේ දී රාත්‍රී 07.00 සිට 08.00 දක්වා පැවැත්වෙන මතක බණ ධර්ම දේශනාවකින් ආරම්භ වනවා.

නොවැම්බර් 24 වැනි බදාදා මංගල සමරවීර මහතාගේ පවුලේ අය ඔහු සිහි කිරීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමය පින්කමක් පවත්වන අතර මෙය ඔහු සිහි කිරීම පිණිස පවුලේ අයට හා සමීපතයින්ට වෙන්වූ අවස්ථාවක් වනු ඇතැයි එම පදනම පවසනවා.

නොවැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා මංගල සමරවීර මහතාගේ භස්මාවශේෂ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටිි "ද රෙස්ට්පෙක්ට්" ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙනවා. ඔහුට ගෞරව දැක්වීමට කැමති සියලු දෙනාට එදින අවස්ථාව හිමි වනු ඇතැයි එම පදනම පෙන්වා දෙනවා.

නොවැම්බර් 26 වැනි සිකුරාදා මාතර නොවැම්බර් 26 වැනි සිකුරාදා උදෑසන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ සීමිත වාහන පෙරහැරකින් ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් විසින් මාතරට රැගෙන යාමට නියමිතයි.

පසුව මංගල සමරවීර මහතාගේ මග පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රජා මධ්‍යස්ථානයක් වන නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ දී ජනතා ගෞරවය සදහා ඔහුගේ භෂ්මාවශේෂ පස්වරු 2 - 4 දක්වා තැන්පත් කිරීමට නියමිතය.

පස්වරු 4 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් නියෝජනය කරන පූජකවරුන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලබන අතරල පසුව සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කිරීම සඳහා භෂ්මාවශේෂ පෙරහැරකින් මාතර සුසාන භූමියට රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මංගල සමරවීර මහතාට ගෞරව දැක්වීමට පෞද්ගලිකව පැමිණ සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාගෙන් කොවිඩ් -19 සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කාරුණික වන ලෙස සංවිධායක කමිටුව හෘදයාංගමව ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 21:43