April 28, 2024

"මංගල" කියවීම 

නයනක රන්වැල්ල ලියයි

මංගල භෞතිකව අළු වී දින කිහිපයක් ගෙවී ගොස් ය.තවමත් සමහරැ මංගල ගැන ලියති. බොහෝ අය ලියන්නේ මංගලව සිය ජීවිත කාලයේ හමු වු හා ඇසුරැ කළ අවස්ථා ගැන ය. ඒ අතර සිටි හා සිටින දේශපාලකයිනුත් මාධ්‍යවේදීනුත් පෙරමුණේ ඇත. මංගලට වඩා ඒ ලිපිවල තම තමන්ගේ විස්තර හා ක්‍රියාකාරකම් දක්නට ඇත. එහෙම ලිවීමේ වරදක් ද නැත. මංගල සිටිද්දී මේ මිනිසුන් මිය ගියා නම් මංගල ඒ ලිපි ලියන්නේ මිය ගිය කෙනා ගැන මිස තමන් කළ වික්‍රමාන්විත ගැන නොවේ. මංගලව තේරැම් ගැනීමට එය වැදගත් යැයි මම සිතමි.

තව සමහරු ලියන්නේ මාතර ඉපිද ඇදි වැඩුණු මංගල මාතර සිට කොළඹ ලිබරල් ඇත්තන් අතික්‍රමණය කළ බව ය. මංගල සිටියා නම් ඔහුට එයට ද හිනා යන බව ද මම දනිමි. ඒ ඔහු මාතර නොවන බව ඔහු දන්නා නිසා ය. ඒ කාරණා කොහොම වුනත් මට ද මංගල ගැන ලියන්නට සිත් විය.මේ ඒ කතාවයි.ඇත්තටම එය මංගල දේශපාලනය කළ නොකළ කාලයේ අසම්පුර්ණ හරස් කඩකි.මෙය කියවා කවුරැත් අමනාප නොවුණූ ඇතැයි මම සිතමි.මංගලගේ චරිතය තුළ ඉගෙන ගත යුතු ලක්ෂණ ගණනාවක් තිබේ.ඔහුට හොඳ දේශපාලන ඉවක් තිබුනේ ය. ඔහු වැඩ කළේ ඒ ඉවෙන් බව පැහැදිලි කරැණකි. ඔහුගේ තාත්තාට එවැනිම ඉවක් තිබිණී. මංගල බහුතර දේශපාලන ගතිකයන්ට මම එකඟ නොවුන ද ඔහු දේශපාලනයෙන් හම්බ නොකළ ගුණයට මම එදත් අදත් ගරු කරමි.

මංගල මාතර ද?

ඇත්තටම මංගල ඉපදුනේ මාතර බව සැබැ ය. එහෙත් ඔහු මාතර ඉපිද හැදි වැඩුණූ සෙසු මාතර කෙනෙකු හා සමාන නොවේ. එයට හේතු කිහිපයකි. මංගල ඉපදන්නේ කලක් ප්‍රබල රාජ්‍ය ආමාත්‍යවරයෙකුගේ පුතෙක් විලසිනි. මංගලගේ පියා අද ඉන්න ඇමතිවරු මෙන් නුගත් අයෙකු නොවේ. මහනාම සමරවීර උගත් නීතීඥණයෙකි.මව ද බුද්ධිමත් කාන්තාවකි.

මහනාම සමරවීර

මහනාම සමරවීර ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට තේරි පත් වුයේ කොමියුනිස්ට් පක්ෂයෙන් මාතර ආසනයට තරග වැදි ජය ලැබීමේනි.ඒ 1952 වර්ෂයේ දී ය.ඊට ප්‍රථමව ඔහු මාතර පළාත් පාලන ආයතනයට තරග කර ජය ලැබු අයෙකි. පාර්ලිමේන්තුවේ දී හේ මංගල මෙන්ම තරමක අමුතු තිරණ ගත් බව පෙනේ.

එවකට බලයේ සිටියේ එජාපයි.ඒ තුනෙන් දෙකකටත් වැඩි බලයක් සහිතව ය. එජාපයට තනිව මන්ත්‍රී ආසන 54කි. ශ්‍රීලනිපයට තනිව තිබුනේ ආසන 9කි. ඉන් එජාප බලය කෙතරම් ප්‍රබල ද යන්න තේරැම් ගත හැකි ය. එහෙත් ඊළඟට බලය එජාපයට නොලැබෙන බව මහනාමට හැගි ගිය ප්‍රබල කරුණකි. ඔහු තරග කළ කොමියුනිස්ට් පක්ෂයෙන් ද වැඩක් නැත. අත ලකුණ යටතේ තරග වදින මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරන බව මහනාම දැන ගත්තේ ඔහු සතුව ද පැවති දේශපාලන ඉව හේතුවෙනි. ඒ වනවිට සිදුවන සමාජ මත පෙරළි මහනාම හොදින් තේරුම් ගෙන තිබිණී. මහනාම තිරණයක් ගත්තේ ය.

කොමියුනිස්ට් පක්ෂයේ භාෂා ප්‍රතිපත්තියට විරුද්ධව එම පක්ෂයෙන් ඉවත් වීම එම තිරණයයි. ඩබ්ලිව්.දහනායක මහතාගේ මුලිකත්වයෙන් පිහිට වූ භාෂා පෙරමුණට මහනාම එක් වුයේ ඉන් පසුව ය. පසුව එම පෙරමුණ මහජන එක්සත් පෙරමුණට එක්විය. මහනාම මහජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා ලෙස 1956 දී මාතරට තරග කළේ ඒ හරහා ය. එහි දි ඔහු ජයග්‍රහණය කළ අතර උප අධිකරණ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දීම ද සිදු වුයේ සිය දේශපාලන ඉව නිවැරදි බව ප්‍රකට කරමිනි.

එවර මැතිවරණයට මාතර ඡන්ද දායකයෝ 31039ක් ඡන්දය ප්‍රකාශ කළහ. මහනාම ඉන් ඡන්ද 18571ක් ලබා ගනිමින් මාතර ආසනය ජය ගත්තේ ය.

56 පෙරළිය

56 පෙරළියෙන් පසු නිර්මාණ වු පාර්ලිමේන්තුව තුළ විසල් චරිත ගණනාවක් සිටියහ. අගමැති වුයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ය. සභානායක සී.පී. ය.ඩබ්ලිව් දහනායක, මෛත්‍රිපාල සේනානායක, විමලා විජේවර්ධන, ආර්.ජී. සේනානායක, ටී.බී. ඉලංගරත්න, පීටර් කෙනමන්, සර් ජොන් කොතලාවල, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන හා ආචාර්ය කෝල්වින් ආර් ද සිල්වා වැනි අය මැද මහනාම ද හරිහරියට සිටියේ ය.

ඛේමාගෙන් මහනාමට තැග්ගක්

මහනාම ඡන්දය ජය ගැනිමෙන් පසු ඔහුට හොඳම තැග්ග දුන්නේ බිරිඳ ඛේමා පද්මාවති අමරවීර ය. ඒ ඡන්දයෙන් දින දහහතරකට පසුව ය. එනම් 1956 අප්‍රේල් 21වැනිදා ය. ඒ පොඩි රෝස මලක් බඳු කොලු පැටියෙකි. මීට දින කිහිපයකට පෙර අපෙන් සමු ගත්තේ ඒ රෝස මල වු මංගල පින්සිරි සමරවීර ය.

මහනාමලා සිරිමා ආණ්ඩූව වට්ටයි

මහනාම ගෙව්වේ කෙටි ජීවිත කාලයකි.1966 මාර්තු 19වැනිදා ඔහු මියගිය අතර ඒ වනවිට ඔහුට යන්තම් වයස අවුරැදු 48 පසු වුවා පමණී.මිය යාමට පෙර 60-64අතර තුළ සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවේ ද මහනාම ආමාත්‍ය ධූර කිහිපයක් දැරැවේ ය.එහෙත් ලේක් හවුස් ආයතනය පවරා ගැනීමේ පනතේ දී මහනාම, මැතිනියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ ය.

සිරිමාවෝ මැතිනිය එයට තදින්ම කිපුනා ය.

"මේ මිනිහා එස්මන්ඩ් වික්‍රමසිංහ එක්ක කුමන්ත්‍රණයක් කළා"

මැතිනි සිය හිතවතුන්ට කිවේ මුගුරෙන් පහකෑ සැපින්නක ආකාරයෙනි.

ඉදිරියේ නැවත එජාප රජයක් එන ලකුණූ පහළ වෙමින් තිබිණී.සභානායක සී.පී. ද සිල්වාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 14 දෙනෙක් එජාපයට එක් වුයේ එයට පදනම සකසමිණී.මහනාම ද ඒ අතර විය. ඒ පිරිසේ අරමුණ ඉටු වෙමින් සිරිමා ආණ්ඩුව වැටුණේ ය.

මහනාම සමු ගනී

දැන් මහනාම එජාපයේ ය. එවර මැතිවරණයෙන් එජාපය දිනුවේ මහනාමගේ ඉව නැවතත් නිවැරදි බව සනාථ කරමිණී. එහෙත් එජාපයට එකතු වු මහනාම ඊට පසු පැවති මහ මැතිවරණයට ඉදිරිපත්වුව ද ඉන් පරාජයට පත් විය. ඊට වසරක් ඇවැමෙන් මහනාම ජීවිතයෙන් ද සමු ගත්තේ ය. මහනාම මධ්‍යසාරවලට බෙහෙවින් ලොල්ව සිටියේ ය. ඔහුගේ ඉතාම කිට්ටු පෞද්ගලික ලේකම්වරයා වු ගුණසේකර ඔහුට සැම දිනෙකම මත්පැන් බෝතල් ගෙනත් දුන්නේ ය. අධික බීම ඔහුගේ මරණය ඉක්මන් කළේ ය.

මහනාමගේ ඇවැමෙන් පසු ඛේමා මාතර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුවා ය.ඇය ඉන් ජය ලැබීමෙන් පසු නැවතත් දේශපාලන කටයුතුවල නිරත වුවා ය.

මංගල ඇඳුම් නිර්මාණකරණයට

ඔය කාලයේ මංගල සිටියේ වැඩිපුර කොළඹ ය.ඒ රාජකීය විද්‍යාලය නිසා ය.ඔහු අධ්‍යාපනය හැදැරැවේ රාජකීයෙනි. උසස් පෙළ කිරීමෙන් පසු මංගල තමා වැඩිපුර කැමති ඇඳුම් නිර්මාණකරණයට යොමු විය. කොළඹ සල්ලි තියෙන කාන්තාවක් ගණනාවක් සමගම නොයෙක් ව්‍යාපාරික සම්බණ්ධතා ගොඩ නගා ගත් මංගල එය සිය ජීවන මාර්ගය බවට පත් කර ගත්තේ ය.ඒත් මංගල සිටියේ කොළඹ ය.

මංගල ලන්ඩන් යයි

අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු මංගල මාතර යාවී යැයි යමෙකු සිතා සිටියේ නම් එය ද වැරදිණී. ඔහු කොළඹ ඇඳුම් නිර්මාණකරණය කරන ගමන්ම ඒ පිළිබඳ වැඩුර අධ්‍යාපනය ලබන්නට තිරණය කළේ ය.ඒ සඳහා ගොඩ වුයේ ලන්ඩන් නගරයේ ශාන්ත මාටින් කලා විද්‍යාලයට ය.

එහිදී ඔහු ඇඳුම් නිර්මාණය හා තාක්ෂණය පිළිබඳ බී.ඒ ගෞවරව උපාධියක් දිනා ගත්තේ ය.එම වකවානුවේ ඔහු ශ්‍රීලනිප ලන්ඩන් ශාඛාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

ඉනර්සන්ට් මංගලා

ලන්ඩන් ගිය මංගල ලංකාවට ආවේ අසුව දශකයේ මුල් කාලයේ දී ය ඔහු ගැන කතා ලියන අය සිතන්නේ මංගල ලංකාවට ආ විගස මාතර පදිංචියට ගියා කියා ය. ඒත් ඇත්තටම මංගල සුපුරුදු ලෙසම සිටියේ කොළඹ ය. ඔහු පැමිණි විගස පැරණි ව්‍යාපාරය අලුත් කළේ ය. එහි නම වුයේ "ඉනර්සන්ට් මංගලා" ය. එය ඇඳුම් නිර්මාණ සමාගමකි. එහි වැඩපළ මංගල දැම්මේ මාතර උයන්වත්තේ නොව කොළඹ ඉහළම කණ්ඩායම් ගැවසෙන ඉනර්ෆලවර් රොඩ් එකේ ය. මෙම ලිපියේ මුල ම මංගල මාතර නෙමෙයි කියා මා කීවේ ඒ නිසා ය. ඔහු ඉපදුනේ ඇමති පුතෙකු ලෙස ය. පාසල් ගියේ කොළඹ රාජකීයට ය.ඉන්පසුව ලන්ඩන් ය. එයිනුත් පසුව කොළඹ හතේ මල් පාරට ය. එහෙව් අයෙක් මාතර කියන්නට හැකි ද කියා මම නම් නොදනිමි. ඔය අතර කාලයේ ඔහු ලංකාවේ ඉතාම දක්ෂ දේශපාලකයන් කිහිපදෙනෙකුට ද ඇඳුම් නිර්මාණය කළේ ය .ඒ සමහර අය මංගල මහනාමගේ පුතා කියා දැන සිටියේ ද නැත. ඇඳුම් නිර්මාණය කරන අවධියේම මංගල කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාරයවරයෙකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු මොස්තර නිරූපණ ප්‍රදර්ශන සංවිධානය කරන්නට පටන් ගත්තේ ද මේ කාලයේ ය.

මංගලට ඕටාරා හමු වෙයි

තරුණ නිර්මාණ ශිල්පිහූ ගණනාවක්ම එකල මංගල සමග වැඩ කළහ. පසුකාලීකව ඕඩෙල් ආයතනය නිර්මාණය කළ ඕටාරා ගූණවර්ධන ද එකල මංගල සමග ඉතාම කිට්ටුවෙන් වැඩ කළා ය. මංගලගේ ප්‍රධාන නිරූපණ ශිල්පිණීය වුයේ ඕටාරා ය. ඔව්හු එක්ව විදේශ රටවල ද විලාසිතා දැක්ම සඳහා ගියහ. ඒ අතර ඕමාන්, කොරියාව වැනි රටවල පැවති විලාසිත දැක්ම ඉතාම සාර්ථක විය. මිය යන තුරුම ඒ මිත්‍රත්වය ඒ දෙදෙනා අතර පැවතිණී.

මංගලට අනුර හමු වෙයි

මේ සියල්ල මැද ද මංගල දැක්ක සිහිනයක් තිබිණී.ඒ දේශපාලනයට ඒමට ය.

"මට ලංකාවට වැඩක් කරන්න ඕනා"ඔහු නිතර සිය ළඟම අයට කීවේ ය.

අනුර බණ්ඩාරනායකව මංගලට හමුවන්නේ ඔය කාලයේ ය. වෙනත් දේශපාලන මිතුරෙකු හරහා හමු වු දෙදෙනා පසුව පැරණි මිතුදම් අලුත් කර ගත්හ.

දැන් මංගලට ඕනෑ මාතර හරහා දේශපාලනයට ඒමට ය. ඔහු එය කිහිපවිටක්ම අනුරට කීවේ ය.

"එහෙම නම් අපි යමු මැතිනිය හම්බ වෙන්න"අනුර ඔය අතර දිනෙක කීවේ ය.

මංගල කැමති වුයේ එක පයින් ය.

මැතිනියගෙන් වේලාවක් ගැනීම සඳහා අනුර මංගල ගැන මැතිනයට කීය. ඒ ගැන ඇසු විගස මැතිනිය තදින් කිපුණා ය.

"මහනාම අන්තිම වේලාවේ අපේ ආණ්ඩුවට එරෙහි වුණා. එයා එස්මන්ඩ් එක්ක කුමන්ත්‍රණය කරපු කෙනෙක්. එයාගේ පුතෙක් මට කොහොමවත් එපා.."

මැතිනිය ඉංග්‍රිසි බසින් කීවේ එවැනි කතාවකි.

"ඒ වුනාට ඒ කුලයේ කෙනෙක් මාතරට අපිට ඕනා. ඒනිසා එයා වැදගත්." අනුර පෙරලා කීවේ ය.

මැතිනිය මඳක් නිහඬව සිටියා ය. අනුරගේ පෙරැත්ත නිසාම අවසානේ මංගල හමු වීමට මැතිනිය කැමති වුවා ය.

මංගල මැතිනිය හමුවට

නියමිත දිනයට දෙදෙනාම රොස්මිඩ් ගෙදර ගියහ. මැතිනිය කුල මාන්නයෙන් හිස උදුම්මා ගත් කාන්තාවකි. ඇය මෙවැනි අවස්ථාවල පහළට එන්නේ තරමක අගය කිරීමකින් පසුව ය. එදින ද මැතිනි එනතුරැ මේ දෙදෙනාට බලන් ඉන්නට සිදු විය.

මැතිනි පහළට ආ විගස "මෙයා ගැන තමයි මම කිව්වේ" අනුර කීය.

"මේ මහනාමගේ පුතා නෙමෙයි. මම එයාව දන්නවා. එයා ඉන්නේ ෆිජිවල. මෙයා හිපියෙක් වගෙනේ." මැතිනිය මංගලගේ මුහුණටම කියා ගෙන ගියා ය. එපමණක් ද නොව මැතිනිය මහනාම කළ දේ ගැන ද මංගලට කිවේ ය. මංගල තැති ගත්තේ ය.

අනුරට ද කර කියා ගත හැකි දේයක් නොවීය.

"නැහැ, මෙයා මහනාමගේ පුතා තමයි. මෙයාගේ අයියා තමයි ෆිජිවල ඉන්නේ" අනුර යටහත් පාහත්ව කීවේ ය.

තමා මේ උනන්දුවෙන් හඳුන්වා දෙන්නේ කවදා හෝ තමාගේ දේශපාලන මිණීවල කපන අය බව එකල දැන අනුර දැන සිටියේ නැත.

"මොකක් වුනත් මාතර දෙන්න කලින් කොණ්ඩේ රැවුල හරියට කපලා හොඳ ඇදුමක් ඇදන් එන්න කියන්න"අනතුරැව මැතිනිය අනුර දෙසට හැරෙමින් කීවා ය.

හමුව අවසන් වුයේ එසේ ය.

ටික දිනක් යනවිට අනුරගේ සේම මැතිනියගේ ද හිත දිනා ගැනීමට තරුණ මංගල සමත් විය. සාමාන්‍යයෙන් එකල මැතිනිය වටේ සිටි මෛත්‍රීපාල සේනානායක, ජිනදාස නියතපාල, තිලක් කරුණාරත්න, මහින්ද රාජපක්ෂ, ප්‍රදීප් හපන්ගම, හේමකුමාර නානායක්කාර වැනි අය පවා මැතිනියට දැඩි ගෞවරවයක් තිබිණී. ඔවුන් රොස්මිඩ් නිවසේ මැතිනිය ඉන්න වේලාවට හැසිරුනේ ඉතාම වීනිතව බව දන්නෝ දනිති. එහෙත් මංගල එසේ නොවේ.ඔහු ඔහුට අවශ්‍ය ලෙස නිදහසේ එහි කාලය ගත කළේ ය. විටෙක දුම්පානය ද කළේ ය.මංගල එදාත් මියයනතුරුත් එහෙම ය. ඔහු එකල මහින්ද රාජපක්ෂගෙත් ළඟම මිතුරෙකු බවට පත් විය.

1989 මංගල පාර්ලිමේන්තුවට

1989 වනවිට රට තුළ එක ගිනි ගොඩක් නිර්මාණය වී  තිබු යුගයකි.ශ්‍රීලනිපය එකල පැවතියේ අනුරට වැඩි වාසිදායක අයුරිනි.ශ්‍රීලනිපය තුළ සිටි දැවැන්ත චරිත ගණනාවක්ම සිටියේ අනුර සමග ය.එහෙත් මංගල ඔය වකවානුව වනවිට චන්ද්‍රිකා කෙරෙහි ආකර්ශනය වෙමින් සිටියේ ය.මංගල-එස්.බී සුසංයෝගයට අවශ්‍ය වුයේ පක්ෂයේ බලය චන්ද්‍රිකාට දිනා දීම ය.

1989 මහ මැතිවරණය ආවේ ඔය කාලයේ දී ය.තරැණ මංගල මාතරින් තරග කළේ ය.ඔහු දිනන බව කවුරැත් දැන සිටියහ.ඒ එම කුලයේ අය පහසුවෙන් දිනන බව දන්නා නිසා ය.මංගල ද දිනුවේ ය.මන්ත්‍රී වු පසු මංගල සිය දේශපාලන ක්‍රියාකාරිත්වය කිහිප ගුණයකින් වැඩි කළේ ය.එජාපයට එරෙහි විවිධ කටයුතුවල මංගල ඉදිරිපෙළ සිටියේ ය.

එජාපයට එරෙහිව යෝධ ජනරැල්ලක් නිර්මාණය වු ක්‍රියාවලිය වුයේ කොළඹ සිට කතරගම දක්වා වු පාද යාත්‍රාව ය.ඒ යුගයේ මංගල හිටියේ චන්ද්‍රිකා පිළේ ය.එනමුදු පාද යාත්‍රාව තිබුනේ මහින්දලා යටතේ ය.පාද යාත්‍රාවේ මුල සිට අගටම ගිය අය අතර කැපි පෙනුණූ චරිතය වුයේ මහින්ද අබේකොන් ය.ඊට අමතව ජී.අයි.ඩී ධර්මසේකර(අද මාලේවන ධර්මවිජය හිමි)ඇතුළු කණ්ඩායමක් වුහ.(පාද යාත්‍රාව ගැන වෙනම එකක් ලිවිය යුතු බැවින් මෙහි එහි තතු සඳහන් නොකරමි)

පාද යාත්‍රාවෙන් චන්ද්‍රිකා නෙරපයි

පාද යාත්‍රාව කොළඹින් ඇරඹෙන අවස්ථාවේ එතරම් සෙනගක් එහි සිටියේ නැත.එහෙත් එය දෙහිවල ආසන්නයට එනවිට දස දහසක පමණ විශාල සෙනගක් එයට එක්ව සිටියහ. අනුර, මහින්ද, අලෙවි මව්ලානා, තිලක් කරුණාරත්න, දිනේෂ් ගුණවර්ධන, මහින්ද අබේකොන්, චමල් රාපක්ෂ, වාසුදේව නානායක්කාර, රිචඩ් පතිරණ හා අමරසිරි දොඩන්ගොඩ වැනි විශාල කණ්ඩායමක් එහි ඉදිරිපෙළ වුහ. වෛද්‍ය රාජිත සේනාරත්න ජිප් රථයකින් ඒ ගැන හඬ අවදි කරමින් ඉදිරියෙන්ම ගමන් කළේ ය.

අනුරගේ දෙපසින් ගමන් ගත් දෙදෙනෙකු ඔහුගේ දහඩිය පිස දමමින් ගමන් කළහ. දෙහිවලට යනවිට අනුර සිටයේ තරමක අමාරුවකිනි. ඔහු ළඟ සිටිය මහින්දට කතා කළේය.

"මහින්ද ඔයාලා මෙතන ඉදන් ඉස්සරහින් යන්න.මට අමාරැයි මම ටිකක් නතර වෙනවා.අනුර කීවේ ය.අනුරගේ දේශපාලන ගමන ද මෙලෙස කවදා හරි නතරවන බව මහින්ද එදා තේරැම් යන්නට ඇත. අනුර  නතර විය.

අනුර නතර වු පසු චන්ද්‍රිකාට පාද යාත්‍රාවට ගොඩ වෙන්නට අවශ්‍ය විය. එහෙත් මහින්දලා නිසා චන්ද්‍රිකා එයට බිය වුවා ය. කෙසේ වුව ද කළුතර දිස්ත්‍රික්කයට පාද යාත්‍රාව සමීප වනවිට චන්ද්‍රිකා ද පාද යාත්‍රාවට එක් විය.

ඒ මොහොතේ මහින්ද ප්‍රමුඛ කණ්ඩායම චන්ද්‍රිකාට පාද යාත්‍රාවේ ඉදිරිය නොදි සිටිමට වග බලා ගත්හ.

ඔය අතර වාරයේ තිලක් කරැණාරත්නගේ පාදයක් දෙවරක්ම එක් මිනිසෙකු පාද සමග පැටලිණී.තිලක් වටෙන්නට ගියේ ය. තිලක් පසුපස බැලුවේ ය.

"කවුද තමුන්" තිලක් ඒ නාඳුනන මිනිසාගෙන් ඇසුවේ ය.

"මම මැඩම්ගේ සිකියුරිටි එකෙන්"එම මිනිසා කීවේය.

"මේ පක්ෂයේ ඉන්නේ එක මැඩම් කෙනයි.එයා ඉන්නේ ඉන්දියාවේ මේ වේලාවේ. වෙන මැඩම්ලා මෙකේ නැහැ. නිකන් පව් නොදී යනවා." තිලක් කීවේ තරමක වේගවත් ස්වරයකිනි. තිලක් ඒ හිතා මතා  බැන්නේ චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙකුට ය.

එය ඊට පිටුපස සිටි චන්ද්‍රිකාට ද ඇසිණී. චන්ද්‍රිකා තරහා පලනය කර ගෙන සිටියේ ය.මෙවැනි බලපැම් හේතුවෙන් චන්ද්‍රිකා පාද යාත්‍රාවෙන් ඉවත් වු අතර ඇය නැවත කරළියට එන්නේ මාතර දී ය.

ඒ මංගලගේ සවියෙනි.

මාතර දී චන්ද්‍රිකා වේදිකාවට

පාද යාත්‍රාව මාතරට ආවේ ය. ඒ වනවිටත් උයන්වත්ත ක්‍රීඩාංගණයේ දැවැන්ත රැළියක් සුදානම් වෙමින්  තිබිණී.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය එදින එකම හිස් ගොඩක්ව පැවතිණී. ඉදිරිපස විසල් වේදිකාවකි. වේදිකාවේ එක් පසෙකින් හදිසියේම පන්සියයක පමණ පිරිසක් සමග චන්ද්‍රිකා මතු විය. මහින්දට එය ඇල්ලුවේම නැත. දැන් චන්ද්‍රිකා හදන්නේ වේදිකාවට ගොඩ වෙන්නට ය. චන්ද්‍රිකා වේදිකාවට ගොඩවනවාත් සමගම මහින්ද ඒ අසලට ගියේ ය.

"........... බැහැපන් බීමට" මහින්ද චන්ද්‍රිකාට කීවේ පරැෂ වචනයක් ද සමගිනි.මේ වෙන අවුල දුටු ජී.අයි.ඩී. ධර්මසේකර වහාම මහින්ද සමීපයට පැමිණ,"මොකක්ද මහින්ද මේ කරන්නේ කාටත් මෙතන ඉඩ දෙන්න ඕනා" යැයි කිවේ තද ස්වයෙනි.

මහින්ද අයින් වුයේ ඉන් අනතුරැව ය.මහින්ද ඉවත් වු පසු චන්ද්‍රිකා පැමිණ ධර්මසේකරගේ අසුනට යාබද අසුනේ අසුන් ගත්තා ය.

එදා ඉන් වඩාත්ම සතුටු වුයේ තරැණ මංගල ය. ඔහු බලාපොරොත්තු වු එකක් හරි ගියේ ය.

මේ ඔයාගේ අලුත් එක් කෙනා ද?

චන්ද්‍රිකා පිළ තුළ සිටියත් මංගල අනුර පිළ තුළ සිටි ප්‍රබලයන් ද ළඟින් ඇසුරැ කළේ ය. අදටත් ප්‍රබලම තැනක සිටින අයෙකුට එදා මංගල කතා කළේ ය. ඔහු එකල එතරම්ම ජනප්‍රියව සිටියේ නැත. පාද යාත්‍රාවෙන් පසුව නම් ඔහු රටම දැන ගත් අයෙකු බවට පත් විය.

"අයියා පොඩි ගමනක් තියෙනවා.මාත් එක්ක යන්"

මංගල ඔහුට කීවේ ය. ඒ අනුව දෙදෙනාම කොළඹ පැවති තරැණ ව්‍යාපාරික ප්‍රජාවකගේ ප්‍රිය සාදයකට එක් වූහ.

එහි දී මංගල ඔහුව ඇතැම් අයට හඳූන්වා දූන්නේ ය.සමහරැ ඔහූව දූටූ විගසම හඳූනා ගත්තෝ ය. එහෙත් පිටරට සිට පැමිණි තරැණ අයෙකු මංගල සමීපයට ආවේ ය.ඔහු මංගලගේ පාසැල් මිතුරෙකි.මංගල පාසැල් යන සමයේ ද සමරිසියෙකු බව කවුරැත් දැන සිටියහ.

"ආ කොහොම ද මචන්" කියමින් සිය පාසැල් මිතුරා උණූසුම් ලෙස මංගල පිළිගත්තේ ය.අනතුරැව මංගල ඔහු සමග සිටි දේශපාලකයා දෙසට හැරැණේ ය.

"මචන් මේ කවුද? කියලා උඹ දන්නවා ද?" මංගල ඒ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු සිය හිතවතා පෙන්වමින් ඇසුවේ ය.

"ආ මචන් මට මෙයාව දැකලා පුරැදුයි. මේ උඹේ අලුත් එක් කෙනා ද?" මංගලගේ මිතුරා ක්ෂණීකව විමසද්දී මංගල ද කලබලයට පත් විය.මංගල ක්ෂණීකව කතාව වෙන පැත්තක හැරෙව්වේ ය.

"අපෝ මම නම් ආයි තමුසේ එක්ක කිසිම ගමනක් යන්න එන්නේ නැහැ" කලබලයට පත් අනුර පිලේ කෙනා අනතුරුව මංගලට කීවේ ය. ඔහු එහෙම කීව ද පසුව ඔහු මංගල එක්ක විශාල දේශපාලන ගමනක් ගියේ ය. මංගල ද ඔහුව ඉහළම තැනට ඔසවා තැබුවේ ය.

(මතු සම්බන්ධයි)

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 12:20