May 18, 2024

මම ශ්‍රීලනිපයෙන් ගියේ නැහැ: රාජපක්ෂලා මාව පැන්නුවා - මංගල මාධ්‍ය හමුවක් තබමින් කියයි

තමා කිසි විටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොගිය බව හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (31) හෙළිදරව් කරන ලදී.

තමා සිය දේශපාලන ගමන ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව රාජපක්ෂවරු පැන්නූ බවටද සමරවීර මහතා චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂයට එක්වීම පිළිබඳව තමා අද සතුටු වන බව සදහන් කල සමරවීර මහතා එජාපයේ ලිබරල්, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිපත්තීන්ට තමා තුළ කැමැත්තක් තිබෙන බවද පෙන්වා දෙන ලදී.

සමරවීර මහතා මෙම අදහස් පළ කළේ අද (31) ඉතා දිගු කලකට පසු ඉතා දීර්ඝ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමාව ඉවත් කිරීම පිළිබඳව සමරවීර මහතා අදහස් පළ කළේ ඒ පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

2005 ජනාධිපතිවරණයේදී මංගල සමරවීර මහතා ඒ වන විට එතරම් ඇයි හොඳයියක් මහින්ද රාජපක්ෂ මහතා සමග නොතිබුණද එම තීරණාත්මක ඡන්දයෙදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ දෙතුන් දෙනා අතර සිටි කෙනෙකු විය.

2005 සහ 2010 මෙන්ම 2020 බිහිවූ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වූ රජයන්හි අමාත්‍යධූර හෙබවූ මෙන්ම මේ වන විටත් හොබවන බොහෝ පිරිස් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙතැයි සිතා එම මැතිවරණයට කර දී වැඩ නොකල අවස්ථාවේ සමරවීර මහතා රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අසීමිත වැඩ කොටසක් ඉටු කරන ලදී.

එහෙත් ඊට වසර දෙකකට පසු රාජපක්ෂ පාලනයත් සමඟ ඇතිවූ මත ගැටුම් හේතුකොටගෙන සමරවීර මහතා මෙන්ම අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක හා ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන් එම ආණ්ඩුවෙන් ඉවත් විය.

ඒ සමගම එතෙක් සමරවීර මහතා දැරූ අමාත්‍ය ධූරද ඔහුට අහිමි වූ අතර ටික කලකට පසු 2005 ජනාධිපතිවරණයේදී සමරවීර මහතා පරාජය කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට එක්විය.

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 April 2021 10:33