April 27, 2024

ආනයන සීමා නොතකා ලැම්බෝගිනි, හැමර් ඇතුළු සුපිරි රථ තොගයක් ගෙන්වලා! වෙන්දේසිය නවතයි

February 16, 2022

සුපිරි වර්ගයේ වාහන නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබෙන බව වාර්තා වනවා.

එලෙස ගෙන්වූ වාහන වෙන්දේසියට සූදානම් කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව රේගුව පවසන්නේ එම වාහන වෙන්දේසිය තාවකාලිකව නතර කළ බවයි.

වාහනවල කොටස් අතුරුදන්

ලිපි ලේඛනවල වැරදි හා අඩුපාඩු විගණනය විසින් පෙන්වා දීමෙන් පසු මෙම පියවර ගෙන තිබෙනවා.

එම ලිපි ලේඛන යාවත්කාලීන කිරීමෙන් පසු වෙන්දේසිය පවත්වන බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ප්‍රකාශ කළේ.

හිමිකරුවන් නොමැති මෙම සුපිරි වාහනවල කොටස්ද අතුරුදන්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙම වෙන්දේසිය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණා.

සුපිරි රථ ලැයිස්තුව

එහෙත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත වෙන්දේසිය එදින උදෑසන නතර කළා.

මෙම වාහනවලින් කිහිපයක් ගෙන්වා ඇත්තේ වාහන ආනයන සීමා පැනවීමෙන් පසුව බවද අනාවරණය වී තිබුණා.

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි මෝටර් රථය එංගලන්තයෙන්ද, ලැම්බෝගිනි මෝටර් රථය කුවෙට්, රොල්ත් රොයිස් මෝටර් රථය කුවෙට්, බෙන්ස් මෝටර් රථය ජර්මනිය, හැමර් ජීප් රථය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ජගුවර් ජීප් රථය කුවෙට් රාජ්‍යයෙන්ද මෙරටට ආනයනය කර තිබෙනවා.

මෙම වෙන්දේසියේදී තැන්පතු මුදලක් තැබිය යුතු අතර වටිනාකම රුපියල් මිලියන පහළොවට වැඩිනම් රුපියල් මිලියනයක තැන්පත් මුදලක් තැබිය යුතු බවද ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබුණා.

වාහන වෙන්දේසියක්

ජගුවර්, ලැම්බෝගිනි ඇතුළු සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් රේගුව විසින් නතර කර ඇති බවට වාර්තා වුවත්, රේගුව විසින් අත්හිටුවූයේ එවැනි වාහන වෙන්දේසියක් නොව, එම වාහනවල කොටස් කන්ටේනර්වල අසුරා නීති විරෝධීව එවා තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් ඒවා බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් ද සිල්වා මහතා පැවසුවා.

මෙම කොටස්වලින් බහුතරයක් වසරක් තිස්සේ ටෙන්ඩර් කිරීමට උත්සාහ කළත් එයට ටෙන්ඩර්කරුවන් ඉදිරිපත්ව නැති බවත් ටෙන්ඩර් කිරීමට ඉදිරිපත් කර අත්හිටුවනු ලැබුවේ එම වාහනවල කොටස් බවද ඔහු පෙන්වා දුන්නා.

වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩ අතර අංග සම්පූර්ණ වාහනයක් නොමැති බවත්, රේගුවට ආදායම් ලබාගැනීම සඳහා රාජසන්තක කරන විවිධ භාණ්ඩ වෙන්දේසි කිරීම සහ ඒවා අත්හිටුවීම රේගුව මගින් සිදු කරන සාමාන්‍ය කි‍්‍රයාවලියක් බවත් ඔහු සඳහන් කළා.

වාහනවල සැකිල්ල පමණයි 

කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහනවල සැකිල්ල පමණක් විවිධ රටවලින් ව්‍යාජ නම්වලින් ආනයනය කරන බවයි.

එම වාහනවල අනෙකුත් අමතර කොටස් විවිධ මාර්ග ඔස්සේ මෙරටට ආනයනය කර රේගු වෙන්දේසියේදී මිලදී ගෙන යළි මෝටර් රථය සකස් කර අලෙවි කරන බව වාහන ආනයනකරුවන් කියා සිටියා.

Rate this item
(6 votes)
Last modified on Wednesday, 16 February 2022 11:08