April 27, 2024

වාහන සිහිනය සැබෑවෙන ලකුණු! වාහන ගෙන්වීමට අලුත් ක්‍රමයක්

මෙරටට වාහන ආනයනය කිරීමේදී විදෙස් මුදල්වලින් ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියා.

වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිව තිබෙන බවත් පෙන්වා දුන්  මහ බැංකු අධිපතිවරයා ඒ තුළින් සමහරවිට පද්ධතියට යම් හානියක් සිදු විය හැකි බවත් කියා සිටියා. 

රජයට ලිඛිත දැනුම්දීමක්

ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ හෙට අනිද්දා වනවිට රජයට ඒ පිළිබඳව ලිඛිතව දැන්වීමට බලාපොරොත්තු වන බවයි.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා බව දකිනවා. ඒ තුළින් සමහරවිට පද්ධතියට යම් හානියක් වෙන්න පුළුවන් ඉදිරි කාලයකදී. ඒ නිසා යෝජනාවක් තිබෙනවා,  පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් එක පැත්තකින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. තව පැත්තකින් අවශ්‍ය භාණ්ඩය ලැබෙනවා. හෙට අනිද්දා අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වනවා.” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියා.

මුදල් ඉතිරි කර ගැනීම

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය හමුවේ මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජය ගත් තීන්දුව නිසා ඉකුත් මාස පහළොවක කාල සීමාවේදී විදේශ රටවලට ඇදී යෑමට තිබූ රුපියල් කෝටි විසි පන්දහසකට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වනවා.

මේ නිසා එම මුදල් රටේ කොවිඩ් වසංගතය පාලනයට යොදා ගැනීමට හැකි වී තිබෙනවා.

වසරකට රුපියල් කෝටි විසිදහසකට අධික වටිනාකමින් යුත් වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන එන බවයි මෝටර් රථ ආනයන කරුවන් සඳහන් කරන්නේ.

වාහන ආනයනය නතර කිරීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් 2020 වසරේ අමෙරිකානු ඩොලර් 45.57 දක්වා අඩු වීමත් නිසා විදේශ රටවලට ඇදී යාෑමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2325ක් මෙරට තුළ රඳවා ගැනීමට රජයට හැකි වී තිබෙනවා.

විද්‍යුත් මෝටර් රථ ආනයනයට අවසර

පවතින තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බවයි රජය පවසන්නේ.

කෙසේවෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබාදීමට මේ වනවිට අවධානය යොමුවී තිබෙනවා.

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.

මෙරට තුළ විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඊට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථානද රට පුරා ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජර්මනියේ ආයෝජකයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසූවේ.

Rate this item
(3 votes)