May 03, 2024

වාහන ගෙන්වීම ගැන අලුත් කතාවක්

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමග, සිය ගමන් බිමන් සඳහා වාහන අවැසි බවට මන්ත්‍රීවරු කළ ඉල්ලීම ව්‍යර්ථ වූ බව පසුගිය දා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුවත්, සැබැවින්ම එය එලෙස ව්‍යර්ථ වී ඇත්දැයි යන්න පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙනවා.

සුඛෝපභෝගී ජිප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් වූ අතර එය සළකා බලමින් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට පැවසුණේ පවතින තත්ත්වය යටතේ වාහන සුළු ප්‍රමාණයක් හෝ ගෙන්වීම නොසුදුසු බවට යි.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්තේ ද අමාත්‍ය මණ්ඩලය විසින්ම වාහන තොගයක් ආනායනය කිරීමට ගත් තීරණයක් සළකා බලමින් වීම විශේෂත්වයක්.

පසුගිය අප්‍රේල් මාසයේ දී වාහන තොගයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ රජයේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා එම වාහන අවශ්‍ය බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

ගිලන් රථ, ජල බෞසර සහ ඩබල් කැබ් රථ යන වාහන 50 බැගින් වාහන 150ක් ගෙන්විය යුතු බව එහි සඳහන්.

එමෙන්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය ද තාවකාලිකව අත්හිටුවීම මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වූ බැවින් එම බලපෑම ඉවත් කළ හැකි විකල්ප ක්‍රමයක් කෙරෙහි ද එහි දී අවධානය යොමු වී තිබුණා.

එම ගැටළුව විසඳීම සඳහා රාජ්‍ය බැංකුවකින් සපයන බිලියන 3.7ක කල් බදු පහසුකම යටතේ වාහන 399ක් ආනයනය කිරීමට ඇණවුම් භාර දී තිබෙනවා.

මේ අනුව එම වාහන 399 ගෙන්වීම අත්හිටුවීමට පසුගිය මැයි 24 වැනි දා කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පැවසුණත්, රජය වෙනුවෙන් එම වාහන 399 සඳහා අදාළ රාජ්‍ය බැංකුව අප්‍රේල් 29 වැනි දා ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එම ණයවර ලිපි අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට තීරණය කර නැහැ.

ඒ අනුව අදාළ වාහන 399 මේවන විටත් ඇණවුම් කර අවසන් බැවින් ඒවා මෙරටට පැමිණීම නොවැළැක්විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම ණයවර ලිපිවල ඉල්ලුම්කරු අදාළ රාජ්‍ය බැංකුව වන බැවින් මෙය එම බැංකුවේ ව්‍යාපාර කටයුත්තක් බවටයි සැළකෙන්නේ.

පසුගිය අප්‍රේල් මස දී වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම, වානිජ බැංකුවලට තහනම් කිරීමට මහබැංකුව පියවර ගත් අතර, එවැනි පසුබිමක මේ ආකාරයෙන් ණයවර ලිපි නිකුත් කර තිබීමට අදාළව ආනයන අපනයන පාලන පනත යටතේ අදාළ රාජ්‍ය බැංකුවට දඩයක් පැණවිය හැකි බව පැවසෙනවා.

මෙම රාජ්‍ය බැංකුව රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති තීරුබදුවලින් නිදහස් ආයතනයක් නොවන බැවින්, ඇණවුම් කර ඇති වාහන 399 සඳහා තීරු ගාස්තු ගෙවීමට ද මහබැංකුවට සිදුවන බව සඳහන්.

මෙනිසා එම රාජ්‍ය බැංකුව අදාළ තීරු ගාස්තු නොගෙවන්නට කටයුතු කළහොත්, එය රජයට ගෙවිය යුතු බද්දක් පැහැර හැරීමක් ද වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 June 2021 08:50