April 27, 2024

"ජුනි වෙනකන් බස් ගාස්තු වැඩි වීමක් නැහැ" - ඇමැති දිලුම්ගෙන් සහතිකයක්

එළඹෙන ජුනි මස පළමු වැනිදා දක්වා කිසිම හේතුවක් සඳහා හෝ නැවත බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.                                                                     

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (05) අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි බවයි.                                                                             

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා,

"ඉදිරියේදී ඉන්ධන, බස් රථ අමතර කොටස් හෝ වෙනත් අදාළ කිසිදු හෝ දෙයක් කුමන ආකාරයෙන් මිල ඉහළ ගියද ලබන ජුනි මස පළමු වැනිදා දක්වා කිසිදු ආකාරයෙන් හෝ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවට පෞද්ගලික බස් රථ හිමියන් අප සමග එකඟතාවයකට එළඹිලා තිබෙනවා. ඒ නිසා නැවත ඉන්ධන වැඩි වීමක් සිදු වුණත් බස් ගාස්තු වැඩි වීමක් සිද්ධ වෙන්නෙ නෑ. නැවත කිසිදු සංශෝධනයක් සිද්ධ වෙන්නේ නෑ. දුම්රිය ධාවනයටත් මේ ඉන්ධන වැඩි වීමේ ගැටලුව බලපාලා තිබෙනවා. දුම්රියක් ධාවනය කරන්න පුළුවන් ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් තුනක් පමණයි. නමුත් මේ අවස්ථාවේ ජනතාව මත තවත් බරක් පටවන්න අපි කටයුතු කරන්නේ නෑ. දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ පූර්ණ වශයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් නිසා අපි ඒ පාඩුව හැකිතාක් දරා ගනිමින් දුම්රිය ගාස්තු වැඩි නොකිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට ලංගමයේ බස් රථ බහුතරයක් කිලෝමීටර් ලක්ෂ 03ත් 04ත් අතර ධාවනය කරලා ඇන්ජිම කීප වරක් අලුත්වැඩියා කොට තිබෙනවා. ඒ නිසා ඉන්දීය ණය ආධාර යටතේ ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා නව කුඩා බස් රථ 500ක් මෙන්ම දුර ධාවනය සදහා ලොකු බස්රථ 100 ක් ලබාගන්න අපි කටයුතු කොට තිබෙනවා."

Rate this item
(0 votes)