May 08, 2024

ඇමතිවරුන්ගේ කට වහන්න සුසිල්ව අයින් කළා

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ අනෙක් මැති ඇමතිවරුන්ට රතු එළි දල්වමින් බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක මෙය නොවන බවත් උන්වහන්සේ සඳහන් කළා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ බුලත්සිංහල දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

එහිදි උන්වහන්සේ මෙසේද අදහස් පළ කළා,

"ක්‍රමය වැරදියි කියන අය අමාත්‍ය ධූරවලින් ඉවත් කරනවා. ඒ අයට රතු එළි පත්තු කරනවා. සුසිල් ප්‍රේමජයන්ත මහතාව එළියට දාලා ආණ්ඩුවේ අනිත් අය බය කරලා. රාජ්‍ය ඇමැතිවරු සහ කැබිනට් ඇමතිවරු කට වහගෙන ඉන්න ඕන. මේ කරන සියලුම ජාතික අපරාධයන් ටික ඉවසගෙන මුනිවත රකින්න ඕන. ආසන්නතම සිද්ධිය තමයි සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම. ඔහු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් කතා කරපු නිසා තමයි මෙහෙම වුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගෙන් බලාපොරොත්තු වුණ සිස්ටම් එක මේක නම් මේක අලුත් සිස්ටම් එකක් නෙවෙයි කියලා අපි කියන්න ඕන. උදය ගම්මන්පිල මහත්තයා එක වෙලාවක කිව්වා අපි මුර බල්ලෝ කියලා. ගෙදරට විවේචනයක් එනකොට මුර බල්ලෝ හැටියට අපි බුරලා අනතුරු අඟවනවා කියලා.

බඩු මිල වැඩියි කියන එක බැසිල් රාජපක්ෂට තේරෙන්නේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂට තේරෙන්නේ නැත්නම් ඒක පිළිබඳ කියන කැබිනට් අමාත්‍යවරු එළියට දාන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔවුන්ව වට මේස සාකච්ඡාවකට ගෙනල්ලා මේ අර්බුදයෙන් ජනතාව ගලවන එකයි කරන්න ඕනේ. මේක කියන මිනිහව එළියට දාලා අර්බුදය එහෙමම තියෙන්න දෙන එක තමයි අර්බුධයේ ඉතාම නරක පැතිකඩ කියන එක අපි පැහැදිලිව කියනවා. කැබිනට් එක ඇතුලේ සාකච්ඡා කරන දෙයක් වුණත් පෞද්ගලිකව තමන් දරන මතය එළියේ කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ නිදහස. ඒක තමයි ජනතාවට ලබා දුන් පොරොන්දුව. ඒ පොරොන්දු වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරු කතා කරන එක වරදක් හැටියට අපි දකින්නේ නෑ.

දැන් ආණ්ඩුවේ හැමෝටම රතු එළියක් දල්වලා තියෙනවා. මොන දේ කිව්වත් හොඳයි කියන ජොන්ස්ටන්ලා, මහින්දානන්දලා සමඟ මේ ගමන යන්න බෑ කියන එකයි ජනාධිපතිතුමාට වැටහෙන්න ඕන. මේ තත්ත්වය යටතේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ මතධාරීන්ට, පොහොට්ටුවේ සිටින අයට සහ සියල්ලන්ටම මේ තත්ත්වය වෙන්න පුළුවන්. හැබැයි මේකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් තව අවුරුදු කීපයකින් ජනාධිපතිත්, අගමැතිත්, මුදල් ඇමතිත් ඇතුළු රාජපක්ෂ පවුලටත් මේ දේම හෙට අනිද්දා වෙන්න පුළුවන්."

(මීගොඩ - බුද්ධික කුමාරසිරි)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 20:30

Related items