May 20, 2024

දුමින්ද නිදහස් කළ තීරණය ගැන ජනපතිට අභියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතිඥවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉහළ අධිකරණය මගින් දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ මරණ දඩුවම ස්ථිර කොට තිබියදීත් ඒ මහතාට ජනාධිපති සමාව ලබා දීමට තුඩු දුන් ක්‍රමවේදය පැහැදිලි කරන ලෙසයි නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ.

ජනාධිපතිවරයාට එවැනි සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතු බව නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙනවා.

දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ද එහි සඳහන්.

නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු වූ බව එම නිවේදනයේ සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් ජනාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතු බවද නීතීඥ සංගමය සඳහන් කරනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 21:42

Related items