April 29, 2024
Main

Main (651)

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එය පාස්කු ඉරිදා  දින එල්ල වූ ප්‍රහාරයටත් වඩා දරුණු තත්ත්වයක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

රවුෆ් හකීම්,කබීර් හෂීම්,රිෂාද් බදියුදීන්,අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් ඇමැතිවරුන් නව දෙනෙක් ඊයේ ධූරවලින් ඉල්ලා අස්වූහ.

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂනායක රැස්වීම පැවැත්විමට නියමිතයි.

ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

මේ අතර අද පෙරවරු 11.00ට විපක්ෂයේ මන්ත්‍රී  කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බොහෝදුරට අද දිනයේ විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව කඩිනමික් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට දින නියම කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි ගෙන ආ විශ්වාසභංග යෝජනාව මේ වන විට විවාදයට ගැනිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේවෙතත් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කර තිබේ.

එම නිවේදනය උපවාසයේ නිරත අතුරලියේ රතන හිමිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යායේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව අද දහවල් කාලය ඇතුළත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

කෙසේවෙතත් අද දිනයේ දෙදෙනාම ඉල්ලා අස් වනු ඇති බවත් පැවසූ ඔහු ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා විසින් ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද කියා සිටියේය.

රාජ්‍ය ආරක්ෂාවට අගතියක් වන කිසිදු තොරතුරක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ මාධ්‍යයයෙන් රටට හෙළි නොකළ බව එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.

අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

මෙරට බුද්ධි අංශයේ සිටින ඉහළ පෙළේ නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු මෙ වන විට ඔනෑම පුද්ගලයෙක් දන්නා බවත් එහෙත් බිම් මට්ටමේ සිටින නිලධාරින් සම්බන්යෙන් කිසිදු තොරතුරක් කිසිවෙකුත් නොදන්නා බවත් ඒ මහතා පවසයි.

බිම් මට්ටමේ සිටින නිලධාරින් පිලිබඳව කිසිදු තොරතුරක් ඊයේ දිනයේදි මාධ්‍ය මගින් හෙළි නොවු බවත් එම තොරතුරු කිසිදු අවස්තාවකදි තම පාර්ශවය හෙළි නොකරණ බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඊයේ දිනයේ තේරීම් කාරක සභාව රැස් වු අවස්ථාව මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනයවල අතරතුර එය නවත්වා දමා ඇති බව දැනගන්නට ලැබුණද එයට හේතුව තමන් නොදන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා එහිදි පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා  අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි පුවත්පතකට වාර්තා වී ඇත.

අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් දේශපාලනික ස්වභාවයක් ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයිද වාර්තාවේ.

අදාළ ප්‍රශ්න කිරීම් සිදුවූ ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද දැඩි විරෝධය දක්වා ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග එම පුවත්පතට සඳහන් කර ඇත.

එමෙන්ම, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාද අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් වලින් පසුව අදාළ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කීපදෙනෙක් වෙත සිය අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ලැබෙන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්  වී.කේ.ඒ. අනුර මහතා පවසයි.

මේ පිළිබඳ ඊයේ (29) ඔහු කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.‍

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතාට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට  කරුණු පැහැදිලි කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද රාජගිරිය සදහම් සෙවණේ දී මාධ්‍ය හමුවක් පැවැත් විය.

නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාද  ඊට එක්ව සිටියේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා  යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් ලබා දෙන බවත් එසේ නොමැතිනම් තමන්ට ගත හැකි ඉහළම තීන්දුව ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.
 
මෙම පිරිස එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ලංකාව පුරා විසිරී සිටින ශාසනාරක්ෂක  බල මණ්ඩල ලේකම් ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතු ලේඛනය පසුගිය 22වනදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට (30) පස්වරු 2.00ට ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, රණවිරුවන් සමග සාකචඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කරන බවත් රතන හිමියෝ පැවසූහ.
 
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමිනි.
 
මේ විවෘත සාකච්ඡාවට සහභාගී වන ලෙස තම ශ්‍රාවකයන්ටත්, තරුණ තරුණියන්ටත්, විශ‍්‍රාමික රණවිරුවන්ටත්, ත‍්‍රස්තවාදයට එරෙහි සියලූම පිරිස්වලටත් ආරාධනා කර සිටින බව කී උන්වහන්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 833 6556 දුරකතනයෙන් ලබා ගත හැකි බවද පැවසූහ.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින් තේරීම් කාරක සභාවක් පෙන්වා විශ්වාසභංගය කල් දැමීමේ කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැති බවද පැවැසීය.

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍ර‍ජාසත්කාරක වැඩසටහන අවසානයේදී මාධ්‍යවේදීයකු විසින් “ඔබත් ජනාධිපති සිහිනයක ඉන්න බව පුවත්පත් වාර්තා කළා. ඒක ඇත්තද ? ”යි අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න කළේය.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ “හැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය අගමැති සිහිනය ආණ්ඩු සිහිනය අත් හරින්න.” යනුවෙනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ජනාධිපති කෙනෙක් වීම මේ රටේ ජනතාව තීරණය කළ යුතු දෙයක්. එහෙම නැතුව එය එක එක්කෙනාට තීරණය කරන්න බැහැ. මේ වෙලාව පසුගිය පාස්කු ප්‍ර‍හාරයත් සමඟඅපේ රට ආර්ථිකය ඇතුළු සමාජීය ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන වෙලාවක්. මේක ජනාධිපතිවරු හදන්නවත්, අගමැතිවරු හදන්නවත්, ආණ්ඩු හදන්නවත් වෙලාවක් නෙමෙයි. අපේ රටේ ආර්ථික තත්ත්වය මේ ප්‍ර‍හාරයත් සමඟ ඉතාමත් නරක තත්ත්වයකට යමින් සිටින්නේ. විශේෂයෙන්ම සංචාරක අංශය කඩා වැටුණා. ව්‍යාපාරකයින්ට ගොඩාක් ගැටළු ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපති සිහින, අගමැති සිහන, ආණ්ඩු සිහින පැත්තකට දාලා විපක්ෂ පක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා, දේශපාලන පක්ෂ පැත්තක තියලා රට වෙනුවෙන් මේ ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්න ඕන."

"ඒවා විසඳන්න ඕන. පිටරටක නම් මෙවැනි සිදුවීමක් ඇති වුණාම ආණ්ඩුව මොකද්ද විපක්ෂය මොකද්ද කියලා නැහැ ඔක්කොම එක තැනක හිටගෙන රට වෙනුවෙන් කටයුතු කරනවා. අපේ රටෙත් එවැනි තත්ත්වයක් මේ සිද්ධියේ මුලින් මුලින් දැක්කා. නමුත් දැන් දැන් මැරුණු මිනිස්සුන්ගේ මිනී උඩින් දේශපාලනය කරන්න හදනවා. එය මම ඉතාම පිළිකුල් විධියට හෙළා දකිනවා. අද අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ කරන්නේ ඊළඟමැතිවරණයට ලෑස්ති වීම. නැතිනම් එක එක්කෙනා තමන්ගේ ගමනක් යන්න හදනවා.  මේ ජරා වැඩේ නතර කරන්න. දැන් අවශ්‍ය වෙන්නේ රට ඉදිරියට ගෙනි යන්න. හරි කාලේ එන විට රටට ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත් වෙයි.”යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.