May 14, 2024

බදියුදීන් - අසාද්සාලි - හිස්බුල්ලා තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට පැය 24ක් Featured

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා  යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් ලබා දෙන බවත් එසේ නොමැතිනම් තමන්ට ගත හැකි ඉහළම තීන්දුව ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.
 
මෙම පිරිස එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ලංකාව පුරා විසිරී සිටින ශාසනාරක්ෂක  බල මණ්ඩල ලේකම් ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතු ලේඛනය පසුගිය 22වනදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට (30) පස්වරු 2.00ට ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, රණවිරුවන් සමග සාකචඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කරන බවත් රතන හිමියෝ පැවසූහ.
 
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමිනි.
 
මේ විවෘත සාකච්ඡාවට සහභාගී වන ලෙස තම ශ්‍රාවකයන්ටත්, තරුණ තරුණියන්ටත්, විශ‍්‍රාමික රණවිරුවන්ටත්, ත‍්‍රස්තවාදයට එරෙහි සියලූම පිරිස්වලටත් ආරාධනා කර සිටින බව කී උන්වහන්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 833 6556 දුරකතනයෙන් ලබා ගත හැකි බවද පැවසූහ.

Last modified on Wednesday, 29 May 2019 09:20