April 27, 2024

හදිසි කැබිනට් සංශෝධනයේ රහස්: කලකිරුණු ප්‍රබල ඇමතිගෙන් ඉඟියක්

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් කැබිනට් මණ්ඩල ඇමති ධුරවලින් ඉවත් කිරීම මුල් කොටගෙන හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපතිවරයා සිදුකළා.

එහිදී දාම් ලෑල්ලක ඉත්තන් මෙන් ඇතැම් ඇමතිවරුන්ගේ විෂය පථයන් එහෙට මෙහෙට වුණා.

නිර්මාණය වූ අර්බුදය

එහිදී බරපතළම අර්බුදය නිර්මාණය වූයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මුල් කොටගෙන.

පාර්ලිමේන්තුවේ සභානායකවරයාද වන ඔහුව ඔහු දැනට දරන අධ්‍යාපන ඇමැති ධුරයේ සිට විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත ඇමැති ධූරයට මාරු කිරිමටයි ජනපතිවරයා පියවර ගෙන තිබුනේ.

දිනේෂ් ගුණවර්ධන මහතා දැරූ අධ්‍යාපන ඇමතිධූරය සඳහා එස්.බී.දිසානායක මහතාව පත් කිරීමටයි ජනපතිවරයාට අවශ්‍යව තිබුණේ.

ඇමතිවරයාගේ ස්ථාවරය

එහෙත් තමන් දරන අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉවත් වීම දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කළ බව ප්‍රකට කරුණක්.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කරමින් විදේශ කටයුතු ඇමති ධුරයටත් ඉන්පසු අධ්‍යාපන ඇමති ධුරයටත් එතනින් කර්මාන්ත ඇමැති ධුරයටත් තමාව පත් කිරීම පිළිබඳව ගුණවර්ධන මහතා සිටියේ දැඩි කළකිරීමකින්.

මේ නිසා ඔහු සිය ස්ථාවරය ජනපතිවරයාට දැනුම් දී තිබුණා.

කෙටි සාකච්ඡාව

ඒ තමන්ගෙන් අධ්‍යාපන ඇමති ධුරය ඉවත් කරන්නේ නම් සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවටයි.

ඉන් ජනපතිවරයා කලබලයට පත්වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනපති හා බැසිල් රාජපක්ෂ මහතා අතර සිදු වූ ඉතා කෙටි සාකච්ඡාවකින් පසු කර්මාන්ත ඇමැති ධූරය එස්.බී.දිසානායක මහතාට ලබාදීමට ජනපතිවරයා තීරණය කළ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කල යුතු වෙනස්වීම් පිළිබඳව යෝජනාවලියක් දිසානායක මහතා විසින් ජනපතිවරයාට ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ලබා දුන් ඉඟිය

මේ නිසා කර්මාන්ත ඇමැති ධූරය හිමි වුවද බලාපොරොත්තු වූ අධ්‍යාපන ඇමති ධූරය හිමි නොවීම සම්බන්ධයෙන් දිසානායක මහතා තුළද යම් කලකිරීමක් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා තමන්ට කතා කළ බොහෝ දේශපාලන ප්‍රබලයන් අමතා යම් ප්‍රකාශයක් කර තිබෙනවා.

"මේවා පුදුම විදියට තමයි වෙන්නේ. අපිත් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. තව කල් තියෙනවනේ."

ගුණවර්ධන මහතාද ආන්ඩුවේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායකයා වන අතර ඔහුද දැඩි කලකිරීමක සිටින බවයි එම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ.

Rate this item
(4 votes)
Last modified on Monday, 07 March 2022 07:06

Related items