May 02, 2024

මගේ කට ඇරියොත් මෛත්‍රීට පාරේ බැහැලා යන්න වෙන්නේ නෑ - ඇමැති මහින්දානන්ද

November 02, 2021

මෙවර මහ කන්නය සඳහා වී වගා කළ යුතු හෙක්ටයාර ලක්ෂ 8 ක භූමි ප්‍රමාණයෙන් දැනටමත් හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කටයුතු සඳහා සූදානම්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා කිරීමට පෙළඹෙන බවයි.

පොළොන්නරුවේ උපවාස කරන ගොවීන් අතර නියම ගොවීන් කී දෙනකු සිටී දැයි සොයා බැලිය යුතු බව කී අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ උපවාසකරුවන් අතරට ගොස් නොයෙක් දේ පවසා තිබූ බව ද හිටපු ජනාධිපතිවරයකු කී දෙයක් හෙයින් තමා ඊට උත්තර නොදෙන අතර තම උත්තර දුන්නොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාරේ බැස යන්නට නොහැකි වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ පැවසුවා.

"ඒ පොලොන්නරුවේ ගොවි උද්ඝෝෂණවලට නම් වී මොල්වල මහත්වරු සල්ලිත් ගෙවනවා කන්න ටිකත් දෙනවා.  ඒ නිසා අද උද්ඝෝෂණය නවත්වලා උපවාස මට්ටමට ඇවිත් තියෙනවා.  මේ මහ කන්නයේ වී ගොවි තැන හෙක්ටයාර ලක්ෂ 8න් ලක්ෂ 5ක ගොවියෝ මුලික වැඩ ආරම්භ කරලා තියෙන්නේ. 244,000ක වගාවන් අවසන් වෙලා ඉවරයි. ගොයම් ඉහලා පැලවෙලත් ඉවරයි. අපි විශ්වාස කරනවා නොවැම්බර් මාසයේ අග වන විට මේ ගොවියෝ ලක්ෂ 8ම වගා කරනවා කියලා. අද හවස ඉන්දියාවෙන් ගුවන් යානා 6කින් නැනෝ නයිට්‍රජන් පොහොර එනවා. එවිට ගොවියන්ට කොම්පෝස්ට් පොහොර හදන්න ගොවියෝ 621,000කට කාබනික පොහොර ටික හදන්න අපි 7,500 ගානේ සල්ලි දිලා තියෙන්නේ. අපිට සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධයස්ථාන වලට නැනෝ නයිට්‍රජන් පොහොර යවලා ඉවරයි".

“ගොවියාට වී ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර රජයෙන් ලබා දෙනවා. වල් හා දීලීරනාශකත් ගෙන්වා දෙන්න දැන් රජය පියවර අරගෙන තිබෙනවා. ඒ නිසා ගොවියෝ වගා කරන්න පටන් ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර කිසිම උද්ඝෝෂණයක් නෑ. ඒ අය පොහොර තමන්ම හදාගෙන වගා කරනවා. දකුණේ අපේ ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා මහ පාරේ අරගල කරනවා. මේ අරගල කරන්නේ නියම ගොවියෝ නොවෙයි. දේශපාලන පක්ෂවලට අයත් සාමාජිකයන්. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න උපවාස කරන්න කන්න බොන්න හැමදේම හම්බ වෙනවා. පොළොන්නරුව උපවාස කරන ගොවීන් අතර කී දෙනෙක් නියම ගොවීන් ඉන්නවද බලන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේ උපවාසකරුවන් අතරට ගිහින් නොයෙක් දේ කියලා තියෙනවා. මම ඒ කිව්ව දේට උත්තර දෙන්නෙ නෑ. මොනවා වුණත් හිටපු ජනාධිපතිවරයෙක්නෙ. මම උත්තර දුන්නොත් එතුමාට පාරේ බැහැල යන්නත් බැරි වෙන්න පුළුවන්.” 

Rate this item
(5 votes)
Last modified on Tuesday, 02 November 2021 07:05

Related items