May 02, 2024

තුනෙන් දෙකක් කුඹුරු පුරන්: කැබිනට්ටුවේදී මහින්දානන්ද තනිවෙයි - මට තනියම බෑ කියයි

November 06, 2021

ජනපතිවරයා විදෙස් ගතව සිටීම නිසා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ප්‍රධාන අවධානය යොමු වූයේ කුඹුරු අස්වැද්දීම ගැනයි.

තුනෙන් දෙකක් පුරන්

මේ වන විට උතුරු - නැගෙනහිර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල හැර අන් දිස්ත්‍රික්ක වල ගොවීන් කුඹුරු වැඩ කිරීමට සුදානම් වී නොමැති බවයි මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙළිදරව් තිබෙන්නේ.

ඒ ප්‍රමාණය රටේ කුඹුරු වලින් තුනෙන් එකක් බව පෙන්වා දී තිබෙන අමාත්‍යවරයා එසේ වුවහොත් එළඹෙන සිංහල අවුරුද්ද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා (මහින්දානන්ද අලුත්ගමගේ) එහි වගකීම භාර ගත යුතු බවයි එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙන්නේ.

කෘෂි ඇමතිගේ වගකීම

කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන් කුඹුරට බැස්සවීමට කටයුතු කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙන අතර ඊට පිළිතුරු දෙමින් අලූත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ තමන්ට එය තනියෙන් කළ නොහැකි බවයි.

මේ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ගම් බිම් බලා ගොස් කුඹුරු වගාවට ගොවීන් උනන්දු කරවන ලෙසට කටයුතු කළ යුතු බවට යෝජනාවක් අලූත්ගමගේ අමාත්‍යවරයා ගෙනවිත් තිබෙනවා.

පොහොර නොමැතිකම

ඊට මැදිහත්ව තිබෙන මහින්ද අමරවීර හා එස්.එම්.චන්ද්‍රසේන යන අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙන්නේ පොහොර නොමැතිකම ගොවීන් කුඹුරු වගා නොකිරීමට හේතුව ලෙසයි.

මේ සියල්ල අසා සිටි අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ කවුරුත් ජනපතිවරයා ඉදිරියේ මේ කරුණු නොකියන බවත් එළඹෙන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිවරයා ඉදිරියේ මෙම කරුණු කියන ලෙසටයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 November 2021 20:03

Related items