May 08, 2024

බස් ගාස්තුවත් ඉහළට? රාජ්‍ය ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්

බස්ගාස්තු ඉහළ දැමීමක් සඳහා අවසර ලබා දීමට කිසිදු අකාරයකින් කටයුතු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහළ යෑමක් සිදු වුවහොත් යම් ආකාරයක බස් ගාස්තු ඉහළ දැමීමක් කළ යුතු බවට බස් සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළත් ඒ ආකාර වැඩි කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද ඒ මහතා කියා සිටියා.

මහනුවර කටුගස්තොටදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වතාවේ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ බවත් මේ නිසා බස් හිමියන් මේ ආකාරයේ ප්‍රකාශයක් කිරීම අසාධාරණ නොවන බවත් කී ඒ මහතා ඉන්ධන මිල වැඩි කිරිමක් සම්බන්ධව මේවන විට රජය සාකච්ඡා නොකරන බවද අවධාරණය කළා.

යම් හෙයකින් ඉන්ධන මිල වැඩි වුවහොත් එහි පාඩුව රජය දරාගෙන බස් ගාස්තු ඉහළ නොදමා සිටීම වඩා ප්‍රායෝගික බව තම හැඟීම යැයිද අමාත්‍යවරයා පැවසුවා.

මගීන් සඳහා විද්‍යුත් කාඩ්පත ලබාදීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු වසර 06 ක් තිස්සේ දික් ගැසී තිබෙන බවත් මෙය කඩිනමින් ක්‍රියාවට නන්වන ලෙස ප්‍රවාහන ඇමැතිවරියද උපදෙස් ලබාදී තිබෙන බවත් අමුණුගම මහතා සඳහන් කළා.

දැනට පවතින තත්ත්වය අනුව අදාළ කාඩ්පත සඳහා රුපියල් 300.00 ක මුදලක් ජනතාව ගෙන් අය කිරීමට යෝජනා වී තිබෙන බවත් එය මිලදී ගැනීමෙන් අනතුරුව මුදල් ටොපප් කර ගැනීමෙන් පසු එමඟින් ගමන් ගාස්තුවට අදාළ මුදල ගෙවිය හැකි බවත් ඒ මහතා කියා සිටියා.

අදාළ කාඩ්පත රුපියල් 300.00 ක අමතර මුදලක් ගෙවා ජනතාවට මිලදී ගැනීමට සැලැස්වීම සුදුසු නොවන බව දන්වමින් ඇමැතිවරිය එය මගීන්ට නොමිලේ ලබා දීමට අවශ්‍යය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබාදී ඇතැයිද අමාත්‍යවරයා පැවසුවා.

මෙම කාඩ්පත හඳුන්වා දීමෙන් පසු මගීන්ට ඉතිරි මුදල් නොලැඹීම සහ බස් හිමියන් දෛනික ආදායම් වංචා කිරිම වැනි සිදුවීම් සියල්ල නිමා වන බවද ඒ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් රෝහල්වල සේවාවන් සදහා විවිධ පළාත් වල බස් රථ 17 කට අවසර ලබාදී තිබුණු බවත් මෙම බස් රථ වල රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව පිටස්තර අය අධික මුදලක් අයකර ප්‍රවාහනය කර තිබෙන බවත් කී ඒ මහතා බදුල්ලේ සිට පැමිණි එක් බස් රථයක රුපියල් 700.00 බැගින් මගීන් ගෙන්  අයකර තිබෙන බවද අවධාරණය කළා.

ප්‍රවාහනය සම්බන්ධ බලපත්‍ර නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් පමණක් මෙම අවසර දීම සිදු කිරීම මගින් අදාළ ගැටලු වලක්වා කත හැකි බවත් ඇමැතිවරයා පැවසුවා.

මෙම බස් රථවල රියදුරු කොන්දොස්තරවරු පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීම සහ මගීන් ගෙන් අධික ලෙස මුදල් අය කිරීම යන වැරදි දෙකම සිදුකර තිබෙන බවත් මේ අකාරයට ඉදිරියට කටයුතු කළහොත් සංචරණ සීමා උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් අමුණුගම මහතා අවධාරණය කළා.

(කේ.එල්. සුරවීර - මහනුවර)

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 October 2021 16:58