May 14, 2024

හරීන් නව දිස්ත්‍රික්කයක නව ආසනයකට

හරින් ප්‍රනාන්දු මහතාව වත්තල මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේග සංවිධායකවරයා ලෙස පත්කර තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ බැව් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතයි.

උපන් බිමට පැමිණීම

ඒ අනුව හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළද නව පත්වීමත් සමග ඔහු උපන් , ජීවත්වන දිස්ත්‍රික්කය වන ගම්පහ නියෝජනය කිරීමට අවස්ථාවක් උදා වනවා.

හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල දිස්ත්‍රික්කයට සම්බන්ධ වූයේ ඔහුගේ බිරිඳගේ පියා වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වින්සන්ට් ඩයස් මහතාගේ දේශපාලන පදනම නියෝජනය කරමින්.

2010 හා 2015 මහා මැතිවරණ දෙකේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයෙන් තරග නොකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ජනප්‍රියත්වය හීන වීම

බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඔහුගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් හීන වෙමින් පවතින බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට බදුල්ල දිස්ත්‍රික්කය හා සම්බන්ධ ඔහුගේ පෞද්ගලික ජීවිතය හා බැඳුණු සිද්ධීන්ද පදනම් වී තිබෙනවා.

මේ නිසා තව දුරටත් බදුල්ල දිස්ත්‍රික්කය පදනම් කොටගෙන දේශපාලනය කිරීම අසීරු තැනක තිබීම නව දිස්ත්‍රික්කයකට පැමිණීමට හේතු වී තිබෙනවා.

කලක පටන් කියවුණු පුවත

බොහෝ කලක පටන් හරින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන බව ප්‍රකාශ වූ කරුණක්.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය කාලය තුළ යම් යම් කරුණු මුල් කොට ගෙන සමගි ජන බලවේගය පිළිබඳවද කලකිරී සිටි බවත් ප්‍රකට කරුණක්.

සමගි ජන බලවේග සභාපතිවරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙන්ම සිර දඩුවමකට ලක් ව සිටින රන්ජන් රාමනායක මහතා වැනි ප්‍රබලයන්ද ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 August 2021 12:03

Related items