April 27, 2024

චන්ද්‍රිකාගේ FB පිටුව හදිසියේ වෙනස් වෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් පිටුව වෙනස් කර තිබෙනවා.

ඒ සිය සමීපතම මිතුරෙකු සහ දේශපාලන සගයෙකු වූ මංගල සමරවීර මහතාගේ අභාවය වෙනුවෙන්.

මංගල සමරවීර මහතා අද (24) දින අභාවප්‍රාප්ත වූයේ කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී යි.

චන්ද්‍රිකා මහත්මිය සිය ප්‍රොෆයිල පින්තූරය සඳහා සුදු කොඩියක් භාවිත කොට ඇති අතර කවර ඡායාරූපය සඳහා ඇය මංගල සමරවීර මහතා සමග සිනහ මුසු මුහුණින් සිටින ඡායාරූපයක් භාවිත කොට තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය වූ මංගල සමරවීර මහතා දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරේ දී ද ඇය සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් පළ කොට තිබුණා.

පසුගිය 19 වැනි දා පළ කොට තිබූ එහි සටහන්ව තිබුණේ මෙලෙස යි.

ආදරණීය මංගල,

මේ වන විට අප රටේ විශාල ජන පිරිසක් ගොදුරු වී සිටින කෝවිඩ් වසංගතයෙන් ඔබ ද පීඩාවට පත්ව සිටිනු දැකීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් දිනෙන් දින ඔබ සුව අතට පත්වනු අසන්නට ලැබීමෙන් මහත් සහනයක් ලබමි. ඔබ අතිශය විශ්වාසදායී, ප්‍රතිපත්තිගරුක දේශපාලන සගයෙකු මෙන්ම, විපතේ දී හැර නොගිය කල්‍යාණ මිත්‍රයෙකු ද වන්නේ ය.

මංගල, ආදරණීය මාතෘභූමියෙහි උත්තර සමාජයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔබ අප දකින සිහිනය සැබෑ කරගැනීමේ  අනුල්ලංඝනීය වගකීමෙන් ඔබ බැඳී සිටින බව මම දනිමි.

අවංක, ප්‍රතිපත්තිගරුක මිනිසුන් වඩ වඩා අවැසි යුගයක, අප ආදරණීය ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට දායක වීමට ඔබ සුවපත් වී නැවත පැමිණෙන තුරු අපි බලා සිටිමු.

එතෙක් අපි ඔබට සෙත් පතන්නෙමු.

ඔබට බුදු සරණයි!

චන්ද්‍රිකා මහත්මියගේ ෆේස්බුක් පිටුව වෙනස් වී තිබුණේ මේ අයුරින්...

Rate this item
(7 votes)
Last modified on Tuesday, 24 August 2021 14:56

Related items