May 02, 2024

ලියුම පත්තු වෙයි: ඇමති තුන් කට්ටුව කැබිනට් රැස්වීමෙනුත් පැනල ගිහින් Featured

රට වසා දමන ලෙස ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ 10 ක් ලිඛිතවම ජනපතිගෙන් කළ ඉල්ලීම මේ වන විට බොහෝ දුර දිග ගොස් ගිහින්.

එම ලිපියට කැබිනට් ඇමතිවරුන් තිදෙනකු වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන්ද අත්සන් තැබීම පිළිබඳව ජනපතිවරයා දැඩි අප්‍රසාදයකින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කැබිනට් සාමූහිකත්වය කඩ කිරීම

ඒ ඔවුන් තිදෙනාද සහභාගි වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ ගැන කිසිවක් නොකියා ලිපියකට අත්සන් තැබීම පිළිබඳවයි.

එය කැබිනට් සාමූහික සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙසයි ජනපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.

ඉකුත් අඟහරුවාදා සවස 5.30 ටආරම්භ වී රාත්‍රී 10.30 වන තෙක් පැය 5ක පමණ කාලයක් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ වැඩිම කාලයක් වෙන් කොට තිබෙන්නේ කොවිඩ් වසංගතය ගැන සාකච්ඡා කිරීමට.

කැබිනට් රැස්වීමෙන් කලින්ම ඉවත් වීම 

ඒ හැර මේ ඇමතිවරුන් තිදෙනා අතරමැදදී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙන්නේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේයි.

එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වීරවංස , ගම්මන්පිල හා නානයක්කාර යන අමාත්‍යවරුන් තිදෙනා එම රැස්වීම අවසන් වීමට පැය එක හමාරකට පෙර රාත්‍රී 9ට පමණ එක විටම කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබෙන බව දැනගන්නට තිබෙනවා.

ගිහින් තිබෙන්නේ ලිපිය හදන්න

ඉන් පසු එදින රාත්‍රියේ වීරවංශ හා නානයක්කාර අමාත්‍යවරුන් ඇතුළු ලිපියට අත්සන් තැබූ හවුල්කාර පක්ෂ 10 සාමාජිකයින් ගම්මන්පිල මහතාගේ නිවසට රැස්වී අදාල ලිපිය සකස් කළ බවටයි ආණ්ඩුවට තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

ජනපතිවරයා අදාල ලිපිය පිළිබඳ අප්‍රසාදය පළ කිරීමට පෙර එස්.එම්.චන්ද්‍රසේන හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ද අදාළ ලිපිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 09:17