May 02, 2024

කැබිනට් රැස්වීම උණුසුම්! විමල් ඇතුළු ප්‍රබල ඇමැතිවරු තිදෙනෙකුගේ දැඩි විරෝධයක්

ජනාධිපති කාර්යාලයේ ඊයේ(29) පැවති කැබිනට් රැස්වීමේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඇති වූ අදහස් දැක්වීමකදී මෙම විරෝධතාව එල්ල කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව අවසන් තීන්දුවට, පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව එළඹීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.

එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාශ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බව ඊයේ (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර තිබිණි.

එම පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකර තිබේ.

එසේ වුවද මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමේදී මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට කර තිබූ යෝජනාවට ඇමතිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙලෙස විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසය.

එතෙක් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ කැබිනට් රැස්වීම පවත්වා තිබේ.

Rate this item
(0 votes)