April 29, 2024
Main

Main (651)

එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් අමාත්‍යධුර 30ක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කර තිබිණි. ඒ අතර  එජාපයේ ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත් ඇතුලත්ව තිබු අතර ඒ මහතාට අමාත්‍ය ධූරයක් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පසුගිය කාලයේ ඇතිවූ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයාව පහත් ලෙස විවේචනය කිරීම නිසා ඔහුට අමාත්‍ය ධූරයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේනමුත් එජාපයේ ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන ෆොන්සේකා මහතාට කෙසේ හෝ අමාත්‍ය ධූරයක් ලබා ගැනීමේ උත්සාහය අත්හැර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේනමුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමේ දිනයක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර නැත.

LIVE BLOG 

පස්වරු - 3.30 -  " එජාපයේ සමනල්ලු විතරක් නෙවෙයි විෂ බඹරුත් ඉන්නවා " පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ජන රැළිය අමතමින් පවසයි.

පස්වරු - 3.00 - ජන රැළියට පැමිණි ජනතාව 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ පස්වන වතාවට වන අතර මෙරට වැඩිම වාර ගණනක් එම ධුරයට පත්වූ පුද්ගලයා බවට මේ අනුව ඔහු පත් වේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ජනාධිපතිවරයා   පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කරනු ලැබූ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක් ද  2018 නොවැම්බර් 12 වැනි දා උදේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ගොනු කළහ.

මෙම පෙත්සම් කඩිනමික් කැඳවීමේ අවශ්‍යතාවය මත අගවිනිසුරු නලීන් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එදිනම පෙත්සම් කැඳවූ අතර නීතිපතිවරයාට කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවට ප්‍රකාශ වූයෙන් එදින පස්වරු 2 තෙක් කල් තබා සවස් වරුවේ යළිත් පෙත්සම් කැඳැවිණි.

මේ අතරතුර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ද ජනපතිගේ ගැසට්ටුවට එරෙහිව පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබිණි.  ජනපතිගේ ගැසට්ටුවට එරෙහි සියලුම පෙත්සම් නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් ජී ඇල් පීරිස් මහතා ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් 08ක්  ඉදිරිපත් කළහ.

නොවැම්බර් 12 වැනි දා සවස්වරුවේ සහ 13 වැනි දා සවස 3.30 පමණ වන තෙක් පෙත්සම් සඳහා කරුණු දැක්වීම සිදුවිය. ඉන් පසුව පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීම සවස 5.30 දක්වා කල් තැබිණි. එදින පස්වරු 5.50ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විනිශ්චයාරූඪ වූ අතර පස්වරු 5.55ට පමණ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්ටුවට එරෙහි මුල් පෙත්සම් 10 විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඒ සඳහා දෙසැම්බර් 04, 05 සහ 06 දක්වා දින නියම කළේය. පෙත්සම්කරුවන් අයැද සිටි අතුරු නියෝග කිහිපයක් ද ලබා දුන් අධිකරණය දෙසැම්බර් 07 වැනි දා වන තෙක් ජනාධිපතිවරයා විසින් නිකුත් කැරුණු ගැසට්ටුව තාවකාලිකව අත්හිටැවූ අතර ඒ වන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ජනාධිපතිගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ ඉතිරි පෙත්සම් අට ද අවස්ථා දෙකකදී කැඳවුණු අතර ඒ සියලු පෙත්සම් දෙසැම්බර් හතර වැනි දා අනිකුත් පෙත්සම් සමග කැඳවීමට නියෝග කැරිණි.

ජී ඇල් පීරිස් මහතා ප්‍රමුඛ අතරමැදි පෙත්සම්කරුවෝ මෝසමක් මගින් මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියහ. එය පිළිගත් අග්‍රවිනිශ්චකාර නලීන් පෙරේරා මහතා පෙත්සම විභාග කිරීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු එම විනිසුරුවරුය.

මෙම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය හතර වැනි දා පෙත්සම් විභාගය ඇරැඹිණි. එතැන් සිට පුරා දින හතරක් පුරා පෙත්සම් විභාගය සිදු විය. මුලින්ම පෙත්සම්කරුවන් කරුණු දැක්වූ අතර ඉන් පසු අතරමැදි පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන්ගේ කැරුණු දැක්වීම සිදු විය. අවසානයේ පෙත්සම්කරුවන්ගේ ප්‍රතිඋත්තර බැඳීමෙන් පසු නීතිපතිවරයා යළිත් වරක් සිය ස්ථාවරය පැහැදිලි කළේය.

 දෙසැම්බර් හත් වැනි දා රාත්‍රී 7 ට පමණ පෙත්සම් විභාගය අවසන් විය. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබූ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පකරන තෙක් ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවමින් දුන් අතුරු තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා පුරා දින හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට මෙන්ම පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට තිරණය කළ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසුවේ මෙහිදී බැඳුම්කර සිදුවීම පිළිබඳවත් සාකච්ඡ කළ බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව විමර්ශන කළ නිලධාරීන්ට බලපෑම් කළ ආකාරය ජනපති විසින් පැහැදිලි කළ බවත් සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මැතිවරණයට ඉදරිපත් වන ආකාරය පිළිබඳව සාකච්ඡාවක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සාකච්ඡා කර පුළුල් සංවිධානයක් ගොඩ නගමින් සිටින බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දන්වා ඇත.

අද පස්වරු 7.00ට මෙම ජනපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විමට නියමිතය. 

අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමඟ ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (9) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

තනි පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබඳ තමා කිසිසේත් සතුටු නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදුනොවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මනින් වෙනස්වී අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලය සමඟ කටයුතු කිරීමට ඉක්මනින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද විශ්වාසය ප‍ළ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයකුගේ සහ ඇමැති මණ්ඩලයක ක්‍රියාකාරිත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කෙළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප්‍රශ්නයක් මෙන්ම තමා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ප්‍රශ්නයක් ලෙස විග්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව සඳහන් කළ ජනාධිපතිතුමා විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගී සිටිය යුතුයි යන දර්ශනය ක්‍රියාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක්ව ඇති බවද සඳහන් කළේය. මෙය රටේ ජනතාව අවබෝධ කරගත යුතු කරුණක් බව සඳහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලු ජනතාව මාතෘ භූමිය පිළිබඳ සිතමින් තීන්දු තීරණ ගනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංගශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

රුපියල් මිලියන 294 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 4500 ක් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක්විය.

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • කල් තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනි  බදාදා පස්වරු 01 තෙක් කල් තැබිණි.
  • ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩනවා නම් අයින් කළ යුත්තේ ජනාධිපතිවරයා බවත්, ජනාධිපතිට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කළ නොහැකි බවත් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න මහතා සහ රුවනි විජේරත්න මහත්මිය ද අදහස් දැක්වූහ. 
  • පාර්ලිමේන්තුවේ කටයුතු විකාශය කිරීමට වෙනම ආයතනයක් පිහිටුවීමට මීළඟ අයවැයෙන් මුදල් වෙන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා  පාර්ලිමේන්තුවට යෝජනා කළේය.
  • රවී කරුණානායක  මහතා- මේ වෙලාවේ අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීම අත්‍යවශ්‍යයි. මෙය බොහොම ගැඹුරුයි. ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කරන්න.
  • 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් දියත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමක් සිදුවූ බව කියැවෙන මාධ්‍ය වාර්තා කිහිපයක් සහ හැන්සාඩ් වාර්තා කිහිපයක් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

  • ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා -  "හෙංචයියො එවලා විනිශ්චකාරවරුන් බය කරන් පුලුවන් කියලා හිතනවා ඇති. එහෙම යුගයක් තිබ්බා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එහෙම වුණා.  දිවිනැගුම කියලා පනත් ගෙනාවා. මේ පනත ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා අධිකරණය කිව්වා. ඉන් පස්සේ අගවිනිසුරු ඉවත් කරන්න බොරු චෝදනා දැම්මා. දමලා ඇය ඉවත් කළා. ඒවගේ වියරු වැටුණු යුගයක් තිබ්බා. අද අධිකරණය ස්වාධීන වුණේ ස්වාධීන කොමිෂන් දාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තු නිසයි. අද ජනාධිපතිටත් පාර්ලිමේන්තුවට ඇඟිලිගහන්න බැරි විදියට අධිකරණය ස්වාධීන වෙලා තිබෙනවා. දැන් හෙංචයියො එවලා අධිකරණය වට කරලා බය කරන්න සූදානම් වෙනවා. මෙය වියරු වැටීමක්."

  • වජිර අබේවර්ධන මහතා - "2018 දෙසැම්බර් 03 දෙන ලද අතුරු තහනම් නියෝගය මම සියලු දෙනාගේ දැන ගැනීමට කියවනවා.  (සිංහලෙන් කියවයි) කතානායකවරයා කළ ක්‍රියාවට විවිධ මාධ්‍ය ආයතන පහර දුන් නිසයි මම මෙය කියෙව්වේ. පාර්ලිමේන්තුව කළ දේ හරියැයි අධිකරණයට හැඟී ගිය නිසා තමයි මේ අතුරුතහනම ලබා දී තිබෙන්නේ."
  • චාර්ල්ස් නිර්මලනාදන් - "ජනාධිපතිතුමා ගන්නා තීන්දු තීරණ නිසයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. 26 වැනි දා තමයි මෙය ආරම්භ වුණේ. දැන් මාසයක් ගත වී හමාරයි.  මේකට ප්‍රතිවිරෝධය එල්ල කිරීමට අවශ්‍යයි කියන පදනම උඩ අපි එජාපයට සහයෝගය දෙන්න යෝජනාවක් සම්මත කළා.මඩකලපුවේදි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පොලිසියේ දෙදෙනා ඝාතනය වුණා. ඒ කුමන්ත්‍රණයේ සිටියේ කවුද කියලා දැන් හොයාගෙන ඇති. මේ සිද්ධිය වුණේ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයට සහාය දුන්නා කියපු දිනයේයි. රටේ යම් කිසි තත්ත්වයක් ඇති කරන්නයි මේකෙන් උත්සාහ කළේ. මෙය වැරදි. මහවිරු දිනය සැමරූ අවස්ථාවේ දෙමාපියන්ට සහාය දක්වපු දෙන්නකුයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. වවුනතිව් මිනීමැරීම කුමන්ත්‍රණයකින් රජයක් ඇති කරන්න උත්සාහ කළ අයගේ කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක්. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාටත් ලිපියක් යොමු කළා. මේ කරුණ ගැන අපි පොලිස්පතිට දන්වන්න ඕනා. නියම වැරදිකරුවන්ව හොයාගෙන රටේ ජනතාවට ඒ අය කවුද කියලා පෙන්වන්න ඕනා. මේ පිටුපස ඉන්න කුමන්ත්‍රණකාරයන් කවුද කියලා හෙළි කළ යුතුයි. දැන් ආණ්ඩුවක් නෑ. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බිය ගැන්වීම පිළිගන්න බෑ. ඒවගේ තත්ත්වයක් ඇති කරන්නේ නැතුව නියම වැරදිකරුවන් හොයා ගන්න ඕනෑ."
  • ජෝන් අමරතුංග  මහතා - "ව්‍යවස්ථාව අනුව අගමැතිවරයෙක් නැති වුණාම ඊළඟ බලධාරියා තමයි කතානායකවරයා. එතුමාට තමයි බලතල තිබෙන්නේ. මගේ ඉල්ලීම අද සවස 5ට ප්‍රථම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මේ සභාවට ගෙන්වන්න කියලයි. හත් වෙනිදාට සුප්‍රිම් උසාවිය වටලන බවට කතාවක් යනවා. කතානායකට එන්න නොදී ජරමර කළා නම් ඕක කරන එක මහලොකු දෙයක් නෙමෙයි. අපි ඉල්ලීමක් කරනවා ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් මේවා වෙන්න දෙන්න එපා කියලා. අපි අධිකරණය ආරක්ෂා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අධිකරණය ලෝක ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි ජුන්ටාවේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න හදනවා. මගේ ඉල්ලීම විනිශ්චයකාරවරුන් ආරක්ෂා කරන්න සෑම ආරක්ෂාව ලබා දෙන්න."
  • නියෝජ්‍ය කාරක සභාපතිවරයා මූලාසනයට පැමිණෙයි.
  • විජිත හේරත් මහතා - "නලින්ද හේරත් මහතාගේ යෝජනාව ස්ථිර කරනවා. එදා සම්මත වුණු විශ්වාස භංගය ගැන වැරදි ප්‍රචාර යැව්වත් එම විශ්වාස භංගය සම්මත වූ බව අධිකරණය පිලිඅරගෙන තිබෙනවා. එදා ජනාධිපතිවරයා කිව්වේ මේ තීරණය ගත්තේ දූෂණයට වංචාවට එරෙහිව කියලා. එහෙම තීන්දු තීරණ ගන්නවා නම් එදා 2015 මාර්තු කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව කොමිසම පත් කළ යුතුව තිබුණා. කොමිසම පත් කළෙත් 2016 පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවෙන් පසුවයි. ජනාධිපතිට අවංක උවමනාවක් තිබුණේ නෑ ඒ සඳහා."

     "මහින්ද රජාපක්ෂ, රෝහිත බෝගොල්ලාගම, විමල් වීවරවංශ, පියසිරි විජයනායක ඇතුළු පිරිසකට එරෙහිවත් ජනාධිපති කොමිසමකින් වැරදිකරුවන් බවට පත් කරමින් නිර්දේශ දීලා තිබෙනවා. නමුත් ඔවුන්ට දඬුවම් දුන්නේ නෑ. දූෂිතයන්ට දුන්නේ ඇමැතිකම්. උසාවියෙන් ඇප පිට සිටින බහුතරයක් ඇමැතිකම්වල සහ සභාපතිකම්වල. වැලිකඩ ඉන්න ඕන අය තමයි කතානායක පුටුව වටා ඉඳලා මිරිස්කුඩු ප්‍රහාර ක්‍රියාත්මක කලේ. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ තීරණය ක්‍රියාත්මක කළේ නෑ. ගැසට් නිවේදන පහක් ගැහුවා කියලා ජනාධිපති කිව්වා. ඒ ගැසට් නිවේදන පහෙන් 4ක් නීති විරෝධී.එදා කිව්වා කොටි නැගිටිනවා කියලා. මහවිරු සමරු තියනවා කිව්වා. නමුත් ඔවුන් බලයේ ඉන්දි අද මහවිරු සමරු රැසක් තිබ්බා.  පොලිසියේ දෙදෙනක් ඝාතනය වුණා. පොලිසියේ දෙන්නා ඝාතනය වීම ගැන කිව්වේ හමුදා කඳවුරු අයින් කළ නිසා මෙහෙම වුණා කියලා. නමුත් මේ සිද්ධිය වුණු තැනට මීටර 200ක් ළඟ ගුවන් හමුදා කඳවුරක් තිබෙනවා. පොලිසිය තිබෙනවා."

  • නලින්ද ජයතිස්ස මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරයි.

  • නලින්ද ජයතිස්ස මහතා - "ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළා නම් මේ අර්බුදය විසඳා ගත හැකිව තිබුණා. ව්‍යවස්ථාව පැත්තකට දාලා කටයුතු කරන ජනාධිපතිවරයෙක් නිසා ලෝකය ඉස්සරහා රටට තිබෙන පිළිගැනීම නැති වෙලා තිබෙනවා. ශ්‍රීලංකන් එයාලයින් එකේ ආදායම් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා. මේ රටේ ආර්ථිකයට හා රාජ්‍ය තාන්ත්‍රික භාවයට හානි වෙන විදියට කටයුතු කරන්න ජනාධිපතිට බෑ. මෙය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. ඉතිහාසයේ කියවනකොට අපි කල්පනා කළා අශ්ව වෙළෙන්දෝ දෙන්නෙකුට (සේන සහ ගුත්තික) රාජ්‍ය බලය පැහැර ගන්න පුලුවන්ද කියලා.හැබැයි අද අප පේනවා එදා සේන සහ ගුත්තික දෙන්නා කරපු අද සිරිසේන සහ මහින්ද කරලා තිබෙනවා. එදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය වගේම අදත් කුමන්ත්‍රණයක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ යුතුයි. සරත් ෆොන්සේකා අද කළ ප්‍රකාශය වගේම එක්සත් ජාතික පක්ෂ නායකයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ඡන්දය දීපු නොමෙයි ඡන්දය නොදීපු අයටත් ලැජ්ජා හිතෙන තත්ත්වයක්."

    "පංච තන්ත්‍රයේ කතාවක් තිබෙනවා නිල් සායාම් බාල්දියට වැටිච්ච නරියෙක් ගැන. (එම කතාව කියයි.) එදා විශ්වශර්මන් ලිව්වෙ නිල්පාට සායම් බාල්දියට වැටුණු නරියෙක් ගැන. අදත් ඒවගේ තමයි. එදා මනහ්කල්පිත කතාවක් අද අවුරුදු ගණනකට පස්සේ ඇත්ත කතාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ කුමන්ත්‍රණය තීරණාත්මකව පරාජය කළ යුතුයි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් කටයුතු කළේ ඒ සඳහායි. එය පාර්ලිමේන්තුවෙදි, ශ්‍රේස්ඨාධිකරණයෙදි, අභියාචනාධිකරණයෙදි පරාදලා තිබෙනවා.සමහර පුවත්පත්වලට මහින්ද රාජපක්ෂ තවමත් අගමැති. කුමන්ත්‍රණයේ පැත්ත ගන්න කාටවත් අයිතියක් නෑ."

  • දිවා විවේකය නොමැතිව පස්වරු 5.30 වනතුරු පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබේ.
  • අනුර කුමාර දිසානායක මහතා රීති ප්‍රශ්නයක් මතු කරයි.
  • අද දිනට නියමිත විවාදයක් තිබුණා. එය ඉල්ලා අස්කර ගත්තා. ඊළඟට තිබෙන්නේ පාර්ලිමේන්තුව කල් තැබීම. දැන් පාර්ලිමේන්තුව කල් තියන්න දෙන්නෙත් නැතිව එක එක්කෙනා නැගිටලා විවිධ දේවල් කියනවා. ඒකට ඉඩ දෙන්න එපා.
  • කතානායක - එහෙනම් අපි කල් තැබීමේ විවාදයට යමු.
  • අජිත් මාන්නප්පෙරුම  මහතා - "අපි හැම ගමකටම ලක්ෂ 2000 ගානේ ලබා දුන්නා. අපිට මොන කෙනහිලිකම් කළත් මුදල් ගමට යන්න අවස්ථාව දුන්නා. අද වන විට ඇතැම් පළාත් පාලන ආයතන මේ මුදල් අවභාවිත කරනවා. මහින්ද රාජපක්ෂගේ කාලේ වුණා වගේ සල්ලි යටිමඩි ගැසීම ආයෙත් පටං අරගෙන. අද වෙන විට එදා තත්ත්වයටම පත් වෙලා. "
  • ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතා- "මම හැත්තෑ ගණන්වල ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ කාලේ හිටපු මුදල් ඇමැතිට දෝෂාරෝපණයක් කළැයි කියලා මහාචාර්යවරයකුට මේ පාර්ලිමේන්තුවෙන් දඩ ගැහුවා. මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරකම පෙන්විය යුතුයි. මටත් මිරිස්කුඩු ගැහුවා. සභාවට ඇවිත් වාඩිවෙන්න ආත්මයක් නෑ."
  • අජිත් පී පෙරේරා  මහතා - "ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සභාපතිගේ ක්‍රියාකාරීත්නය ගැන මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. මීට පෙර මේ සභාව ඉදිරියට කැඳවා දඬුවම් කරලා තිබෙනවා. දඩුවම් කිරීම දැන් නැති වුණත් සභාවට කැඳවලා ප්‍රශ්න කළ හැකියි. සභාවේ තීරණ පිළිගන්නේ නැති නිසා ඔවුන් කැඳවන්න."
  • කතානායක - "දැනටමත් කැඳවන්න ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා."
  • පාලිත රංගේ බණ්ඩාර මහතා - "මෙය සාපාරාධී විශ්වාසය කඩ කිරීමක් වෙනවා. ගුවන්විදුලියේ සභාපතිවරයාට එරෙහිව කටයුතු කිරීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිට යොමු කිරීම අත්‍යවශ්‍යයි."
  • තුෂාර ඉඳුනිල්  මහතා  - "මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන ගැන සමහර සංශෝධන අනුමත වෙලා ඇවිත් නෑ. සමහර දේවල් වේගයෙන් උනන්දුවෙන් සිද්ධ වෙද්දි මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රතිපාදන ගැන වගකියන්න කෙනෙක් නැත්නම් අපිට විශාල අසාධාරණයක්. අවුරුද්ද අවසාන මාසය. නත්තල් මාසය. අපිට ලබා දීලා තිබෙන මුද්දර භාවිත කිරීමත් තහනම් කරලා. නව අවුරුද්දෙ අපේ ජනතාවට පනිවිඩ යවන්න තිබෙනවා. මන්ත්‍රීවරුන්ට දුන්න මුද්දර ටිකත් අත්හිටුවලා තිබෙන අවස්ථාවක්. රටක් ගිනි තියලා ඉවරයි. පොලිස් භටයින් මැරෙනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා. මෙහෙම තියෙද්දි ජනාධිපතිවරයා රටට විහිළු සපයනවා."
  • කතානායක - මුද්දර සම්බන්ධයෙන් මම මහලේකම්ට උපදෙස් දෙනවා.
  • සුජීව සේනසිංහ මහතා - "දැන් තිබෙන උසාවි නියෝග අනුව රටේ බලවත්ම දෙවැනි පුද්ගලයා ඔබතුමා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නීතිමය ඉවත් කරලා නෑ. එහෙම අයින් කරන්න බෑ.  අගමැති ධුරයෙන් මහින්ද ඉවත් කළාට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා නෑ. අගමැතිවරයාට ඒ අසුන ලබා දීමට ඇති නොහැකියාව කුමක්ද කියා මම ප්‍රශ්න කරන්න කැමතියි. මහින්ද රාජපක්ෂ මහතා නීති විරෝධීව පත් කළ සභාපතිවරුන් සහ නිලධාරීන්ට නිලවලින් තාවකාලිකව ඉවත් වන ලෙස නියෝගයක් දෙන්න."
  • කතානායක - මම ඒ කරුණුවල නීතිමය පැත්ත ගැන සොයා බලන්නම්. 
  • නලීන් බණ්ඩාර  මහතා - "පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් පිළිබඳ වගකීම තිබෙන්නේ. පාර්ලිමේන්තුවෙන් සහ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මුදල් භාවිතා කරන බවට අපිට සැකයක් තිබෙනවා. 26 ඊනියා අගමැති පත් වුණු ගමන් පොලිස්පති ගිහින් සැලියුට් ගහලා ඔහුට ආරක්ෂාව සැපයුවා. අපේ ආරක්ෂාව අඩු කළා. ඒ වගේ කඩිනම් පියවරක් දැන් අනුගමනය කරන බවක් පේන්නේ නෑ. අගමැතිවරයෙක් නැතිකොට එතුමාට අගමැති ආරක්ෂක අංශයක් අවශ්‍ය නෑ. හිටපු ජනාධිපතිට දෙන අවශ්‍ය ආරක්ෂාව දෙන්න. අනිත් ඇමැතිවරුන්ටත් ඒ තත්ත්වයම තමයි. අපි දැක්කා ශ්‍රීලනිප සම්මේලනයක් පවත්වනවා. එහිදී ජනාධිපතියැයි කියා ගනිමින් අපේ අගමැතිතුමාට බැන්නා. ජනාධිපතිවරයා ලෙස පෙනී සිටින මේ පුද්ගලයා කවුද කියා සොයා බැලිය යුතුයි."
  • සරත් ෆොන්සේකා  මහතා - මම අවසන් දිනයේදි ප්‍රකාශ කළා මට විරුද්ධව ජනාධිපති අතන මෙතෙන චෝදනා කිරීම ගැන. මම එය ලිඛිතව ඉදිරිපත් කළා. ඒ ගැන ඔබතුමා කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
  • කතානායක - දැනටමත් කටයුතු කරගෙන යනවා.
  • සරත් ෆොන්සේකා  මහතා - "ජනාධිපති පෙරේදත් මං ගැන කියලා තිබ්බා. 2010 ජනාධිපතිවරණයෙන් මම දිනුවා නම් පක්ෂ නායකවරුන්ව හම්බෙන්න ලැබෙන එකක් නෑ කියලා තිබ්බා. ජනවාරි 27 වැනි දා පාන්දර 2.02ට තේරීම් භාර නිලධාරී නිකුත් කළ ලියුමක් මම කියවනවා. එච් එම් කේ හේරත් නියෝජ්‍ය පොලිස්පතිට ලියුමක් එවනවා. එහි මෙහෙම තියෙනවා."

    ලිපිය කියවයි.

    (එහි සඳහන් කර ඇත්තේ ඡන්ද පෙට්ටි ගෙන ගිය නිලධාරීන්ට පහර දී ඇති බව හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ආරක්ෂකයක් ඉවත් කිරීම සිදු කර ඇති බවයි. )
     
    එදිනම පාන්දර මැතිවරණ කොමසාරිස් පොලිස්පතිට ෆැක්ස් එකක් ගහනවා. (ලිපිය කියවයි.)
     
    "මේ ලිපි අනුව පැහැදිලි වෙනවා මහින්ද දිනුවද, බලෙන් ගත්තද කියලා. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනද නැද්ද කියලා පේනවා. මම දිනුවා නම් මේ ජනාධිපති වගේ ව්‍යවස්ථාව කඩන්නේ නෑ. මේ වගේ වැඩ කරන්නේ නෑ. යූ ඇන්පි යෙන් දිනලා අනිත් පක්ෂෙට ගිහින් යූඇන්පියට ගහන්නේ නෑ. පැරදිලා ගිහින් මැදමුලනේ ජනේලේ එල්ලුණු කෙනාව යළිත් අගමැති කරන්නේ නෑ. මමත් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමැතිවරයෙක් වෙලා අවුරුදු තුන හමාරක් වෙනවා. තවම එක වතාවක්වත් රජයේ මුදලින් පිටරට ගිහින් නැහැ.  කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙත් නෑ. හැමදාම පණ බයේ අරයා මරයි මෙයා බරයි කිය කියා කියවන්නේ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නේ නෑ. එය ලෙඩක්. මම රංගේ කියලා සල්ලි දීලා කොටා බාන්නෙත් කෑ. මොරගහකන්ද වගේ තැනකට ගිහින් සන්ග්ලාස් දාලා ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ. අපි ව්‍යවස්ථාව වෙනස් කරලා හරි ඇමෙරිකාවේ විදියට ජනාධිපතිවරයාගේ ඉඳන් ප්‍රධාන නිලධාරීන් මානසික පරීක්ෂාවට ලක් කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදමු."

  • ජේ සී අලවතුවල  මහතා  - "ජනාධිපතිවරයා ඊයේ ලේකම්වරුන් ගෙනත් උපදෙස් දීලා තිබෙනවා. එය ව්‍යස්ථාව කැඩීමක්. ජනාධිපතිට පුලුවන් තමන්ගේ අමාත්‍යංශවල ලේකම්වරුන්ට උපදෙස් දීම පමණයි. දැන් ආණ්ඩුවක් නෑ."
  • කරු ජයසූරිය මහතා - "අපේ මන්ත්‍රීවරුන් නව දෙනකුගේ අත්සනින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය හැකි ඉක්මණින් ගන්න."
  • බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතා - "මේ වන විට අපේ වැඩකටයුතු රැසක් නතර වෙලා තිබෙනවා. ගම්පෙරලිය වැඩසටහන නතර කරලා. පාසල් නිල ඇඳුම නෑ, ඉඩම් බෙදීම නතර කරලා. නිවාස ණය දීම නතර කරලා. අගමැති කෙනෙක්, ඇමැතිවරු නැති රටක මේ ප්‍රශ්න කියන්න ඉතිරිවෙලා ඉන්නේ ඔබතුමා පමණයි." 
  • ආශු මාරසිංහ  මහතා - "රජයේ මාධ්‍ය ගැන කලිනුත් කතා කළා. අධිකරණයත් රජයක් නැති බව පිළිඅරගෙන තිබෙද්දි රජයේ මාධ්‍ය හසුරුවන්න සභාපතිවරුන්ට බෑ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව මේ පාර්ලිමේන්තුවට කැඳවා හෝ මේ ගැන කටයුතු කරන්න."
  •  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - "පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ තවමත් තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ කියලා. නමුත් 15 වැනිදා ඉඳන් ආණ්ඩුවක් නෑ."
  •  කතානායක - මම ඒ ගැන හොයා බලන්නම්.
  • මරික්කාර්  මහතා - "තවමත් ඇතැම් මාධ්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ලෙස භාවිත කරනවා. මේ ගැන සොයා බලන්න."
  • ජෝන් අමරතුංග මහතා - "ජනාමාධ්‍ය ලේකම්තුමා ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමට ගෙන්වන්න. වරප්‍රසාද කමිටුවට යනකං ඉන්න වෙලාවක් නෑ."
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - "මෙම පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අධිකරණයෙත් පිළිගත්තා. නමුත් විධායකය පාර්ලිමේන්තුව නොසලකා හරිනවා. ඊයෙත් ජනාධිපති කිව්වා පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කරලා දුන්නත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නෑ කියලා. අධිකරණයත්, පාර්ලිමේන්තුවත් නොසලකා හරිමින් විධායකය කටයුතු කරනවා."
  • අජිත් පී පෙරේරා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි.
     " ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව මේ සභාවේ කටයුතු ප්‍රචාරය කරන්න ගිවිසුම් ගත වෙලා තිබෙද්දිත් මේ සභාවේ කටයුතු විකාශනය කිරීම නවත්වලා තිබෙනවා. පාර්ලිමේන්තුව කළ දැනුම්දීම් පවා ගුවන්විදුලි සංස්ථා සභාපති නොසලකා හැර ඇති බව වාර්තා වෙනවා. තොරතුරු දැන ගන්න පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුයි. රජයේ මුදල් ගෙවා ඒ වගකීම ඔවුන්ට පවරලා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන්න කියයා ඉල්ලා සිටිනවා.
  • කතානායක - සභාපතිවරයා හිතුවක්කාර ලෙස කටයුතු කරන ලෙස අපි දුටුවා. ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නවා."
  • කතානායකවරයා  - අදට ඇති යෝජනා ඉදිරිපත් කරන්න.
  • මහින්ද දිසානායක මහතා  - මේ යෝජනාව අද මම ඉදිරිපත් කරන්නේ නෑ. වෙන දිනයක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
  • වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබ කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ විය.
  • පාර්ලිමේන්තු සභාවාරය   10.30  ට ඇරැඹිමට නියමිතය.
  • පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව කතානායක  කරූ ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුව ඇරැඹිමට  නියමිතය.

  • පාර්ලිමේන්තුව දෙසැම්බර් 05 වැනිදා 10.30 තෙක් කල් තැබෙයි.
  • ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මත විය.
  • යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
  • ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීම ඇරැඹේ.
  • විජිත හේරත් මහතා - ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත කළා. ඒ පත්වීම තවම කරලා නෑ. ඒ ගැන දැනුම්වත් කරන්න.
  • කතානායකවරයා - ඒ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබෙනවා.
  • කරුණාරත්න පරණවිතාන මහතා - "ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මහරෑ අටවපු මේ ආණ්ඩුව අපි හැදින්වුවේ ජුන්ටා ආණ්ඩුවක් හැටියට. අපි එය විශ්වාස භංගයකින් පැරැද්දුවා. එය කතානායක නිවේදනය කළා. ජනමාධ්‍ය තවමත් අගමැති, ඇමැතිවරුන් ලෙස පාවිච්චි කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් පැත්තකට දාලා තමයි නීති විරෝධී ක්‍රියාදාමය කරගෙන යන්නේ. එහි හොර සභාපතිට අපි කියන්න ඕනෑ මන්ත්‍රී වරප්‍රසාද කඩ කිරීම ගැන පාර්ලිමේන්තුවට ගෙන්වන බව."
  • රංජිත් මද්දුම බණ්ඩාර මහතා - "පොලිසියේ දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ලේ සිංහල. තවත් නිලධාරියෙක් දෙමළ. ඔවුන් මරා දමා ඔවුගේ රිවෝලර් ගෙනිහින් තිබෙනවා. එක පොලිස් නිලධාරියෙකුගේ අතකුත් කපලා තිබෙනවා. මේවගේ අපරාධයක් පහුගිය කාලයේ වුණේ නෑ. දේශපාලනය කරන සංඝරත්නය කිව්වා රට ආරක්ෂා කරන්න රාජපක්ෂ ගේන්න කියලා. ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් කළේ සිරිසේන- රාජපක්ෂ හොර ආණ්ඩුවෙන්. මේ ළමයි 11 දෙනා අතුරුදන්වීම ගැන ප්‍රථම පැමිණිල්ල කරලා තිබෙන්නේ 2011දි එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේ ළමයි 11 දෙනා කොළඹ හිටපු ළමයි. ඒ පරීක්ෂණ අනුව තමයි ත්‍රිවිධ හමුදා ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. බොහෝ අය කෑ ගැහුවා රාජපක්ෂලා ගේන්න. ඔවුන් කිව්වා මහවිරු දින තියන්න දෙන්නේ නෑ කියලා. මේ පාර 38 පොළක මහවිරු උත්සව තියලා තියෙනවා. දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා මේවට උත්තර දෙන්න. ස්වාමීන් වහන්සේලා වතුර ගහලා එළෙව්වේ මේ මාසයේදිම තමයි."
    "අමාත්‍යංශයේ මුදල් පාලනය කරන වගකීම තියේනනේ අමාත්‍යංශ ලේකම්වරුන්ට. අමාත්‍යවරුන්ට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට ගෙවන මුදල්වල වගකීම තියෙන්නේ ලේකම්වරුන්ට. අද ඇමැතිවරු නෑ නියෝග දෙන්න. අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් ආණ්ඩු පරාජය කර ඇති නිසා ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වා ගන්නා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න. නමුත් ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එපා. මුදල් අමාත්‍යංශයේ ලේකම්ට සහ නිලධාරීන්ට කියනවා ගම් පෙරලියේ නවත්වපු වැඩ පටං අරගන්න. පාර්ලිමේන්තු විකාශය නැවැත්වීම සාපරාධී විශ්වාස කඩකිරීම යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්."
  • නලීන් බණ්ඩාර මහතා - "ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා."
  • "ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න. මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක."
  • කතානායකවරයා - "මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නම්. ආරක්ෂක ලේකම්වරයාටත් කියන්නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා."
  • එම්.ඒ.සුමන්තිරන් මහතා - "ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා."
  • කතානායකවරයා - "ගුවන්විදුලිය පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බව තේරුණා. ඒ ගැන දැනුම්වත් කළා. ගුවන්විදුලි සංථාවට අපි මුදල් ගෙවනවා. සභාපතිවරයා පාර්ලිමේන්තුවට අපහාසයක් කරන බව පේනවා. මේ ගැන ලේකම්තුමාත් දැනුම්වත් කළා."
  • මන්ත්‍රීවරයෙක් - "ගුවන් විදුලියට පාර්ලිමේන්තුවෙන් මුදල් ගෙවනවා මෙය සජීවීව දෙනවට. නමුත් ඔවුන් දින කිහිපයක සිට එය නතර කර හැරලා තිබෙනවා."
  • කතානායකවරයා - "මම ඒ ගැන අවධානය යොමු කරවන්නම්."
  • පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවමත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ නමයි තිබෙන්නේ.
  • එස් එම් මරික්කාර් රීති ප්‍රශ්නයක් මතු කරයි.
  • කතානායකවරයා - "ඔක්තෝබර් 27 සිට මම ක්‍රියා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව නීති රීති අනුවයි. මම ක්‍රියා කළේ බහුතර මතය අනුව. ගැසට් නිවේදනය අනුව ක්‍රියා කළ ක්‍රියාවත් සත්‍යයි. ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. හැබැයි ජනාධිපතිට පැහැදිලි කළා ජනාධිපතිගේ ක්‍රියාව වැරදි බව. විශ්වාස භංගයෙන් පස්සේයි මම කිව්වේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නෑ කියලා."
  • පාඨලී චම්පික රණවක මහතා - "ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ප්‍රධාන බලතල දෙකක් පැවරෙනවා. එකක් තමයි නීති සම්පාදනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට පවරලා තිබෙනවා. විශ්වාස භංගය සම්මත වුණා පස්සේ රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ සෘජු බලතල පාර්ලිමේන්තුවට පැවරිලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට කිසිම බලයක් නෑ. මුදල් විෂය භාර ඇමැතිවරයකු නැති තත්ත්වයක් නැති තත්ත්වයක් තුළ අයවැය දෙපාර්තමේන්තුවට අදාල වරෙන්තුව දෙන්න කිසිම හැකියාවක් නෑ. එහෙම හැසිරෙනවා නම් නීතිය හා ජනතාවගේ පරමාධිපත්‍ය හෑල්ලු කිරීමක්. කතානායකතුමා අපක්ෂපාතීව ක්‍රියා නොකිරීම නිසා අර්බුද ඇතිවුණ බව සමහරු චෝදනා කරනවා. ඔක්තෝබර් 26 රාත්‍රී ජනාධිපතිවරයා අගමැති ඉවත් කරලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ගැසට් නිවේදනයක් කළා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි අපි ඔබව හමුවෙලා කිව්වා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගත්තා. අගමැති ලෙස ඔහුට පහසුකම් දෙන්න කතානායක ලෙස ඔබ කටයුතු කළා. අපි ඊට විරුද්ධ වුණා. අපි ශිෂ්ඨ සම්පන්න නිසා ඔබට මිරිස්කුඩු ගහන්නවත් වෙනත් බලපෑම් කිරීමටවත් ගියේ නෑ."

    මහින්ද නීති විරෝධී බව අපි කියද්දියි ඔබ ඔහුට පහසුකම් දුන්නේ. මහින්ද අගමැති නෙමෙයි කියලා ඔබ බාර ගත්තේ විශ්වාස භංගයෙන් පස්සෙයි. ඒ නිසා ඔබ අපක්ෂපාතියි කියා කාටවත් චෝදනා කරන්න බෑ.  අපි මුල් තීරණයට එකඟ නොවුණත් අපි ශිෂ්ඨ සම්පන්නව හිටියා වගේ අනිත් පැත්තේ අයට කටයුතු කරන්න බැරි වුණා.ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති තැනැත්තා අගමැති ලෙස පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ මතය ජනාධිපතිගේ අභිමතය අනුව ගන්නා තීරණයක් නෙමෙයි. මේ මතය කියන්නේ ජනාධිපතිගේ පුද්ගලික අභිමතය නොවෙයි. අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉවත් කිරීම ගැන ඉතාම පැහැදිලි ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් තිබෙනවා. හතර පාරක් විශ්වාසය භංග වුණු පුද්ගලයා ගෙදර නොයන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය. මේ නිසා ආර්ථික බලපෑම් රැසක් ඇති වෙලා තිබෙනවා.  දැනටමත් රජයේ සුරකුම්පත්වල තිබෙන ධනය සීඝ්‍රයෙන් එළියට ඇදගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට බලතගතු හානියක් වෙලා තිබෙනවා. අපේ පොලී අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.  ආර්ථික වැඩපිළිවෙළවල් රැසක් නවත්වලා තිබෙනවා. මාසෙක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියල් බිලියන 617ක බලපෑමක් ලබන අවුරුද්දේ ඇති වෙන්න පුලුවන්. එන්න තිබ්බ ආයෝජන නතර වුණා."

  •  මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරති
  • රංජිත් මද්දුම බණ්ඩාර  මහතා - පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා.  
  • පාඨලී චම්පික රණවක මහතා  - යෝජනාව කියවයි.

  • කතානායක - අදට නියමිත න්‍යාය පත්‍රය අනුව පළමු කාර්ය. යෝජනාව ඉදිරිපත් කිරීම.
  • වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
  • පාර්ලිමේන්තුව අද (30) යළි  උදෑසන 10.30 ට රැස්වීමට නියමිතය.
  • කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුව ඊයේ රැස්වූ අතර එය අදට(30) දක්වා කල් තැබීය.
  • පාර්ලිමේන්තුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,