May 15, 2024

අයහපත් කාලගුණය - උතුරේ පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 60345 දක්වා ඉහළට

December 24, 2018

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 18585 කට අයත් පුද්ගලයින් 60345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙ.ව.9.00ට නිකුත් කල තත්ත්ව වාර්තාවේ දැක්වේ.

කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 38 ක් පිහිටුවා ඇති අතර,අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 3602 කට අයත් පුද්ගලයින් 11299 දෙනෙකු රදවා සිටියි.

වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර පවුල් 9975 කට අයත් පුද්ගලයින් 33008 දෙනෙකු පීඩාවට ලක්ව ඇත.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 24 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2375 කට අයත් පුද්ගලයින් 7849 දෙනෙකු වර්තමානයේ රැදී සිටියි.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 13 ක පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රදවා සිටියි.

යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි.

ආපදාවට ලක්වූවන් බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ආරක්ෂක අංශ කටයුතු කරන අතර ආරක්ෂක අංශ නිළධාරීන් 59 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 1019 දෙනෙකු ක්‍රියාකාරීව දායකවි සිටිති.

කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් මැදිහත් වි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් හා ආපදාවට ලක්වු වැව් සකස් කිරීමද මේ වන විට සිදුකරමින් පවති.

පවතින වැසි තත්ත්වය අඩු වීමක් අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම අනාවැකියේ දැක්වේ.

Last modified on Monday, 24 December 2018 13:19