May 10, 2024

මේ තියෙන ඇමතිකම් අපිට හොඳයි: සංශෝධනය ගැන ඇතැම් ඇමැතිවරු අප්‍රසාදයෙන්

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොවන බව ඇතැම් ඇමැතිවරු ප්‍රකාශ කරනවා.

එහෙත් වාර්තා වන අන්දමට කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉතා නුදුරේම සිදුවීමට නියමිතයි.

බොහෝ ඇමතිවරුන්ගේ අකමැත්ත

එහිදී සංශෝධනයට ලක් වෙතැයි පැවසෙන අමාත්‍යංශ බොහෝමයක ඇමතිවරු තමන් දරන අමාත්‍යාංශය වෙනස් කරනවාට කැමැත්තක් නොදක්වන බවයි වාර්තා වන්නේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉන් එක් අයෙක්.

මගේ මේ වැඩේ මට හොඳයි

ඔහු මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් දැන් වගකීම දරන ඇමති ධුරයේ දිගටම කටයුතු කිරීමට කැමති බවයි.

ඊට හේතුවද ඔහු පෙන්වා දුන්නා.

ඒ එම අමාත්‍යංශය හරහා රටට අවශ්‍ය කරන විදේශ විනිමය විශේෂයෙන්ම ඩොලර් සපයා දීමේ වගකීම දැරීමට තමන් කැමති බවයි.

ඕක ලෙඩ අමාත්‍යාංශයක්

වාර්තා වන අන්දමට වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද තමන් දරන අමාත්‍යාංශය අතහැර සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ.

මේ වන විට මතභේදයට මෙන්ම විවේචනයන්ට තුඩු දී තිබෙන එම අමාත්‍යංශය භාර ගැනීමෙන් විශාල අසීරුතාවයට වැටෙන බවයි අමාත්‍යවරයාගේ මතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේම තබන බවටද මේ වන විට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතාද තමන් මේ වන විට දරන විදුලිබල අමාත්‍යාංශය අත හැරීමටද කැමැත්තක් නැති බවත් දැනගන්නට තිබෙනවා.

ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශය ලබා දීමටයි යෝජනා වී තිබෙන්නේ.

විදේශ කටයුතු ඇමතිගේ කැමැත්ත

සභානායකවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයාද වන දිනේෂ් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශයද වෙනස් වන බවට රාවයක් පැතිර යනවා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැන්නක් පිළිබඳව තමා දැනුවත් නැති බවයි.

ගුණවර්ධන අමාත්‍යවරයාද තමන් දරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉදිරියටත් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්නේ.

බොහෝ ඇමතිවරුන්ගේ මතය වී තිබෙන්නේ වගකීම් බාර දී වසරක වැනි කෙටි කාලයක් තුළ අමාත්‍යාංශ වෙනස් කිරීම තාර්කික මෙන්ම ප්‍රායෝගිකද නැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 08:36

Related items