May 05, 2024

විපක්ෂයෙන් පුළුල් ජාතික පෙරමුණක්! ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය සාකච්ඡා අරඹයි Featured

February 18, 2021

විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකතුව පුළුල් ජාතික පෙරමුණක් බිහි කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

වත්මන් දේශපාලන ප්‍රවනතාද පාදක කර ගනිමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතුව සාකච්ඡා ආරම්භ කර ඇත.

විශේෂයෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම මගින් චෝදනා එල්ල කිරීම ගැන එම දේශපාලන පක්ෂ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මේ පිළිබඳව විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල එකතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහි දී දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ හිටපු විනිසුරුවරුන්ගේ නීතිඥ භාවය ආහෝසි කිරීම සඳහා අගවිනිසුරුවරයාට පුද්ගලයන් දසදහසකගේ ලිපි යොමු කිරීමටද තීරණය කර ඇත. තවද නීතිඥ සංගම් මගින්ද බලපෑම් කිරීමට තීරණය කර ඇත. මෙහි දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ ලබන මස කොළඹ දී රැලියක් පවත්වා ජනතාව දැනුවත් කරන බවයි.

මේ අතර පුළුල් ජාතික පෙරමුණ බිහි කිරීම සඳහා සමගි ජන බලවේගයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පවරා තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමු වී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත. දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාවේ පවතින නීතිමය ගැටලු පිළිබඳව එහි දී අවධානය යොමු කර ඇත. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ හමු වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමගද වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇත.

Rate this item
(1 Vote)