May 06, 2024

සරත් වීරසේකරගේ පූර්වාදර්ශ ඉතා බරපතළයි: ව්‍යවස්ථා විරෝධීයි - විපක්ෂය

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිටින බැවින් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඉතා බරපතළ ප්‍රකාශයක් බව විපක්ෂය නියෝජනය කරන එම්.සුමන්දිරන් හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දෙන ලදී.

මේ ආකාරයට ආණ්ඩුවට ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන එම පනත යටතේ අත්අඩංගුවට ගත් නිසා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි බව පවසමින් එම මහජන නියෝජිතයාට මාස තුනක් පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා නොදුනහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය ස්වභාවිකවම අහෝසි වන බව මෙම මන්ත්‍රීවරුන් දෙපළම පාර්ලිමේන්තුවට පෙන්වා දෙන ලදී.

එම අදහස් දැක්වීමට එක් වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රිෂාඩ් බදුදීන් මහතාව පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව බවත් එම විධිවිධානයන් හදන්නේ මෙම පාර්ලිමේන්තුව බවත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්නා අය පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බව වත්මන් ව්‍යවස්ථාවේ ඇති බැවින් එසේ කල නොහැකි බවට වගන්තියක් ව්‍යවස්ථා සංශෝධනයක් කොට එය වගන්තියක් ඇතුළත් කර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අමතා සඳහන් කරන ලදී.

ඒත් මේ කිසිදු අදහසකට කතානායකවරයා පැහැදිලි ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කොට පිළිතුරක් දෙන බව පමණක් සභාවට දැනුම් දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 11:28

Related items