April 29, 2024

"පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න හදන්න එපා - සාධාරණයක් නොලැබුණොත් විකල්ප හොයන්න වෙයි’’ - කාදිනල් හිමි

December 03, 2020

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නැත්නම් ඩීල් සංස්කෘතියක් ඇති කිරීම සඳහා වෙනදා සිදු වූ ආකාරයටම පාස්කු පරීක්ෂණත් කාපට් එක යට හැංගීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (03) කොළඹ අගරදගුරු නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සමඟ පැවති හමුවේදීය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර මොහොමඩ් හිස්බුල්ලා මහතාට අයත් බැටිකලෝ කැම්පස් එක සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් අගරදගුරු හිමියන්ට භාර දීම සඳහා මන්ත්‍රීවරයා උන්වහන්සේව මුණ ගැසුණි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට රජයත් ජනාධිපතිවරයාත් ස්ථිර පොරොන්දුවක් දී තිබෙන අතර ඒ පිළිබඳව තාමත් විශ්වාසය තබා ඇති නමුත් එය සිදුවන්නේ නැත්නම් වෙනත් විකල්ප සෙවීමට සිදුවන බවයි. 

එසේ වුවහොත් ඒ ගැන වගකීම වෙනත් කණ්ඩායම්වලට පැවරීමට සිදුවනු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ. 

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණත් අනෙකුත් සියලුම ආයතනවලින් කරන පරීක්ෂණ නිවැරදි ආකාරයට කරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසුවේය. 

විශේෂයෙන් ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබුණු දේශපාලන හා ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම මෙම අන්තවාදය පසුපස හිඳිමින් එය පෝෂණය කිරීම සඳහා මුදල්  වියදම් කළ බලවේග ගැන සෙවීම ධෛර්යවන්තව සිදුකරනු ඇති බවද විශ්වාස කරන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 15:25