April 29, 2024

පාසලෙන් දේශපාලනය වහාම ඉවත් කළ යුතු බව කාදිනල්තුමා කියයි

පාසල් තුළින් දේශපාලනය ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප‍්‍රකාශ කළේය.

දේශපාලනය හේතුවෙන් පාසල් පද්ධතිය දැඩි ලෙස පිරිහී ඇති බව ද කී කාදිනල්තුමා ආගමික ආයතනවලින් පාසල් පාලනය කරන සමයේ දේශපාලකයින්ට පාසල් පද්ධතියට ඇතුළුවීමට අවස්ථාවක් නොතිබූ බව ද සඳහන් කළේය.

කිසියම් පක්ෂයකට අයත් දේශපාලකයකු හෝ පුද්ගලයකු පාසලේ පැවැත්වෙන උත්සවයකට පැමිණියාට ගැටලූවක් නැතත් ඔවුන් පාසලේ ස්වාධීනත්වයට අත නොතැබීමට කි‍්‍රයා කළ යුතුව ඇතැයි ද කාදිනල්තුමා පැවසීය.

පාසල යනු ශුද්ධ වූ ස්ථානයක් බවත් එය දරුවන්ගේ පාසල් අධ්‍යාපන කාලය තුළ වඩාත් ශුද්ධ වූ ස්ථානයක් ලෙස පිළිගැනෙන නිසා ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීමට දේශපාලකයින් ඇතුළු සමාජය වග බලා ගත යුතු බවත් කාදිනල්තුමා කීවේය.

ලස්සන දරුවන් තව තවත් ලස්සන කරමින් ඔවුන්ගේ ජීවිත බබලවන සහ ආලෝකවත් කරන ප‍්‍රයෝජනවත් ස්ථානයක් වන පාසල දරුවන්ට ආරක්ෂා කර දීම දේශපාලකයින් ගුරුවරුන් සහ සමාජයේම වගකීම වන බව ද උන්වහන්සේ පැවසූහ.

කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී පැවති සියවස් සැමරුමට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ඉහත අදහස් ප‍්‍රකාශ කර සිටියහ.

Rate this item
(0 votes)