May 15, 2024

"දිවි පරදුවට තබා මව්බිම ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා" - ජනපති Featured

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප‍්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇගිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලූදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමග ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලූදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැදගැනීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි.

රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සදහන් කළ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන බව සදහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලූ දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවයි. මෙම සිදුවීම පිළිබද සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ඊයේ තමාට ලැබුණු බවත්, එහි සදහන් කරුණු පිළිබද නීතිපතිවරයා සමග සාකච්ජා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

එමෙන්ම මෙරට වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු සියලූදෙනා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගීමේ කාර්යය සමග කිසිදු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

Last modified on Thursday, 02 May 2019 09:39