May 01, 2024

බැසිල්ගේ කතාවට මහින්ද විරුද්ධ වෙයි - ප්‍රබල ඇමති ධූර රැසක් කණපිට

December 20, 2021

කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සංශෝධනය යටතේ වෙනස්වන අමාත්‍යධූර අතර ප්‍රධාන පෙළේ ඇමති තනතුරු ද කිහිපයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එළඹෙන ජනවාරි මාසයේ දී මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇති බවට යි මත පළවන්නේ.

මීට සමගාමීව රාජ්‍ය අංශයේ විවිධ තනතුරුවල ද සංශෝධනයක් සිදුවනු ඇති බවට යි වාර්තා වන්නේ.

බැසිල්ගේ යෝජනාවට මහින්ද එපා කියයි

දේශපාලන ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙලෙස කැබිනට් සංශෝධනයක් සිදු කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩුව තුළින්ම පැමිණ ඇති බවට යි.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කඩිනමින් කැබිනට් සංශෝධනයකට යා යුතු යැයි ස්ථාවරයකට පැමිණ ඇති බව සඳහන්.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එයට විරුද්ධ වී තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය පමණක් මේ මොහොතේ දී සංශෝධනය කිරීමෙන් පළක් නොවන බව යි.

“මේ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරලා වැඩක් නැහැ. ලේකම්වරු, සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩලත් සංශෝධනය කළ යුතු බවයි මගේ අදහස” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඒ අනුව එම තනතුරු ආදිය ද සංශෝධනය කිරීමේ කාර්යය අරඹා ඇති බව යි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේ.

ඇතුළේ ඉඳන් අරගල කරන අය විසිවෙයිද?

මේ අතර රජයේ තනතුරු දරමින්ම පසුගිය කාලයේ රජයේ ක්‍රියා විවේචනය කළ මැති ඇමතිවරුන් පිළිබඳව යෝජිත කැබිනට් සංශෝධනයේ දී කුමන පියවරක් ගනී දැයි සැමගේම අවධානය යොමුව තිබෙනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර එම මැති ඇමතිවරුන් අතර ප්‍රමුඛයි.

LNG බලාගාරය සම්බන්ධ ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතරතුර පසුගිය දා ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාට තමන් ඇතුළු පිරිස ඉවත් කිරීමට සිතෙන්නේ නම් එය සිදු කළ හැකි බව යි.

“අපි වරදක් කළා කියලා ජනාධිපතිතුමා තීරණය කරනවා නම්, ජනාධිපතිතුමාට පුළුවන් අපිව අස් කරන්න. අපිව ඉවත් කිරීමේ අවදානම දනිමින්, ඒ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ”

එමෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා ද පසුගිය දිනෙක පැවසුවේ ඇමති තනතුර වෙනුවෙන් හෘද සාක්ෂිය පාවා දීමට තමන්ට නොහැකි බව යි.

“මේ ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කෝම පිළිඅරගෙන, හෘද සාක්ෂිය තඩි ගලකට ගැට ගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. කවුරු හරි හිතන් ඉන්නවානම් අපි මේකේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න චරිත රඟ දක්වන අය කියලා, නෑ මහත්තුරුනී ඒක එහෙම නෙවෙයි. ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි අපේ උපරිම යුතුකම ඉටු කරනවා.”

මේ අතර යෝජිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු ද පැවසූවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ජනවාරි මාසයේ දී සිදු වන්නට ඉඩ කඩ තිබෙන බව යි.

විෂය පථයන් වෙනස් කිරීම හරහා ඇමති මණ්ඩලය අලුත් කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් අයෙකුවන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද පවසන්නේ ආණ්ඩුව තුළ සිටින්නේ ඒ ඒ විෂයයන් පිළිබද දැනුමක් නොමැති පුද්ගලයින් බව යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 10:06

Related items