May 01, 2024

පෝලිම් යුගයට අතවනයි: ඉන්ධන දෙන්නේ කූපන් ක්‍රමයට! කැබිනට්ටුවට යෝජනාව එයි

December 15, 2021

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදීමේ යෝජනාවක් පෙරේදා රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇතැයි වාර්තා වනවා.

එම යෝජනාව කර ඇත්තේ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු බවයි ආරංචි මාර්ග පැවසුවේ.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකටයාම යෝග්‍ය බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

ඉන්ධන භාවිතය වැඩියි

කොරෝනා සමයෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට එකඟතාව පළ කර නැහැ.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 300 ත් 420 ත් අතර මුදලක් වැයවනවා.

ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දී තිබෙනවා.

ණය ගැන මත දෙකක්

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී තිබෙනවා.

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ණය මුදල ලබාගත යුතු බවට යෝජනා කර ඇතත් තවත් පිරිසක් ඊට එකඟතාව පළ කර නොමැති බවටයි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් එකඟතාව පළ කර නොමැති බව ද වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගත හැකිදැයි කැබිනට් මණ්ඩලයේදී යෝජනාවී තිබෙනවා.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට පැමිණ නැහැ.

තවදුරටත් ආනයන සීමා

මේ අතර රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් ආනයන සීමා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන රූපලාවන්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන ආහාර සහ බීම වර්ග, පළතුරු මෙන්ම වයින් ඇතුලු මත්පැන් ආනයනය ද මෙලෙස සීමා කිරීමට සිදුවන බවටයි එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය තවදුරටත් සිදුකරන බව මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ආන්දෝලනයට තුඩුදී ඇති යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී නොමැති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය රැස්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 17 December 2021 10:44