April 27, 2024

රස්සා දුන්න එකට සජිත් චූදිතයෙක්: සමරු පලක වැඩෙන් නිදහස්

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ තිබූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව ලැබුණු පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් විභාග කළ රාජ්‍ය ආයතන වල සිදු වූ දූෂණ හා වංචා සෙවීමට පත්කළ ජනපති කොමිසම ඉන් එක් පැමිණිල්ලකට සජිත් ප්‍රේමදාස මහතාව චූදිතයකු ලෙස ලෙස නම් කොට තිබේ.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බදවා ගැනීමේදී සිදු කර ඇති වංචා,දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙනි.

නීත්‍යානුකූල නොවන ආකාරයට බඳවාගත් සේවකයින් 1117 දෙනකු සඳහා වැටුප් හා දීමනා ගෙවීමට නිවාස ඉදි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාට උපදෙස් දීම සහ බල කිරීම මත රු. හැට හතර කෝටි දහ අටලක්ෂ හැත්තෑ දාස් එකසිය තිස් පහයි සත හැට හතරක රාජ්‍ය මුදල් අවභාවිතය කළ බවට සජිත් ප්‍රේමදාස මහතාවද චූදිතයකු ලෙස නම් කොට තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිතය කිරීමට සැලැස්වීම අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙම කොමිසම හඳුන්වා දෙයි.

එම චෝදනාවට සජිත් ප්‍රේමදාස මහතාට අමතරව නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ලක්විජය සාගර පලංසූරිය හා සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අරුණ දහනායක යන මහත්තුරුන්ද විත්තිකරුවන් ලෙස මෙම කොමිසම විසින් නම් කර තිබේ.

එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සමරු පලක නිශ්පාදනයේදී සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් එම අමාත්‍යංශය භාර ව සිටී අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය පලන්සූරිය සහ එම අධිකාරියේ කලමනාකරුවෙකු කාරියවසම් කටුකැලිය සහ ගමගේ වජිර වසන්ත යන මහත්වරුන්ටය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වී තිබෙන්නේ ශිලා පලක, සමරු පලක, දිසා නාම පුවරු, ඔසු නාම පුවරු සඳහා හාරකෝටි හතලිස් නව ලක්ෂ හැට හයදාස් දෙසිය හතලිස් හතරක මුදලක් වැය කිරීමට අනුමැතිය ලබාදීම මගින් ඉහත සඳහන් නිලධාරීන් දෙදෙනා රජයේ මුදල් භාරකරු වශයෙන් විශ්වාසය කඩ කිරීමෙන් දඬුවම් ලැබිය හැකි සාපරාධී සාවද්‍ය පරිහරණය පිළිබඳව වරදක් සිදුකර ඇති බවය.

මෙම නිර්දේශ ඉදිරිපත් කොට තිබෙන මේ කොමිසම රාජ්‍ය ආයතන වල 2015-1-15 සිට 2018-12-31 දක්වා වූ කාලය තුල සිදුවු දූෂණ හා වංචා සෙවීමට ජනපතිවරයා පත්කළ විශේෂ ජනපති කොමිසමක් වන අතර එහි ඊට ලැබුණු පැමිණිලි 15 විභාග කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 16:00

Related items