April 27, 2024

සහරාන්ට නිදහසේ වැඩ කරන්න ලැබුණා - පොලිසියේ නොසැලකිල්ල පූජිත පිලිගනී Featured

September 29, 2020

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැළකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පිළිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන “ආමි මොහිදින්“ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් උදාවු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළේ නම් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමටද ඉඩ තිබු බව එහිදි වැඩිදුරටත් සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (28) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ සිව්වන දිනටය.

එහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු මස 10 වන දින කාන්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදිත් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් ඒ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් බවත් ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයක් පිළිබඳ නොදැන සිටීම සහ ඇතැම් පුද්ගලයින් එම සැකකරුවන් සඟවාගෙන සිටීම මෙම අත්අඩංගුවට නොගැනීමට හේතු වූ බවත් ය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් සමග සබඳතා පැවැත්වු ආමි මොහිදින් නැමැත්තා සැඟව සිටින ස්ථානය රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නම් නිලධාරියාට පෙන්වා දී තිබියදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැත්තේ මන්ද යන්නය.

"මේක හරි ව්‍යාකූල තත්ත්වයක්. ඔවුන් ඒ අවස්ථාවේ වහාම වරෙන්තුකරුව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කෘත්‍යයන් ඉටුකර ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කිරීම ගැටලුවක් නැහැ. නමුත් ඔවුන් ආමි මොහිදින් නැමැත්තාව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළායැයි වාර්තාවෙන්නේ සැකකරු අත්අඩංගුවට නොගත් පසුබිමක," යැයි පූජිත් ජයසුන්දර මහතා සක්ෂි ලබාදුන්නේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද අවස්ථාවේ ආමි මොහිදින් අත්අඩංගුවට ගත්තානම් ඔහුගෙන් සහරාන් හෂිම්ගේ ත්‍රස්ත ජාලය පිළිබඳ  තොරතුරු අනාවරණය කරගෙන මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නොවේද යන්නය.

"ඔව් ස්වාමිනි, මට දැන් එහෙම හිතෙනවා. ආමි මොහිදින් සහරාන් සමග පවත්වා ඇති සම්බන්ධතාවය බලද්දි ඔහු අත්අඩංගුවට ගත්තානම් බොහෝ කරුණු හෙළිදරව් කරගන්න තිබ්බා. එහෙම හෙළිදරව් වුණානම් ඒ ඔස්සේ සහරාන් ඇතුළු අනිකුත් සැකකරුවන්වත් අත්අඩංගුවට ගෙන මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගන්න තිබුණා," යැයි ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා විමසා සිටියේ සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිත්මත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක ඔබ පිළිගන්නවාද යන්නය.

"ඔව් ස්වාමිනි, මම එක පිළිගන්නවා. සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක," යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 09 දින රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබ වෙත යොමුකරන ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ද යන්නය.

"ස්වාමිනි, මම ඒ ලිපියට FNA කියලා දාලා, මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 04 දෙනෙක්ට යැව්වා. ඒ යැව්වෙත් පණිවුඩකරුවන් සිව්දෙනෙක්ගේ අතේ. මම එක නිශ්චිත වැදගත් තොරතුරක් ලෙස සැලකුවා. එකයි එහෙම කළේ, " යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

"ඇයි ඔබ FNA කියලා දැම්මේ. ඔබ පොලිස්පතිවරයා ලෙස ඊට වඩා වැඩියමක් සදහන් කළ යුතුව තිබුණා නේද..? ඇයි කළයුතු දේ පිළිබඳ උපදෙස් දීමක් සිදු නොකළේ," යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි විමසා සිටියේය.

"ස්වාමිනි, FNA කියන්නේ For Necessary Action කියන එක. නමුත් සමහර අය මේක For No Action හැටියට අපහාසාත්මකවත් අරන් තිබ්බා. මේක නිශ්චිත තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් එවපු. නමුත් මීට අදාළව කිසිම තොරතුරක් අපේ රාජ්‍ය බුද්ධි සේවයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඔවුන් මේක වගකීම් සහගත විදිහට නෙමෙයි එවලා තිබ්බේ. මොකද, ඉහත සඳහන් තොරතුර පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරනවා," යැයි මේකේ සදහන් වෙනවා. ඒ කියන්නේ අවසානයක් නැහැ. නිලන්ත ජයවර්ධන ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවයට තියෙන පහසුකම් හා වරප්‍රසාද එක්ක බලද්දි ඔවුන්ට නිරතවෙන්න තියෙන එකම වෘත්තීමය ක්ෂේත්‍රය තමයි බුද්ධි තොරතුරු කියන්නේ. එහෙම වටපිටාවක් තුළත් ඔවුන් මේකට කිසිවක් එකතු කර තිබුණේ  නැහැ. විදෙස් බුද්ධි තොරතුර විතරයි. නමුත් ඒ තොරතුර වැදගත්. මේක මට එද්දි Top Secret Eyes Only කියන එක ගහලා තිබ්බේ. Eyes Only කියන්නේ මගේ අවධානයට විතරයි කියන එක. නමුත් එක මගේ අවධානයට විතරක් යොමුවෙලා මදි නිසා තමයි ක්‍රියාත්මක විය හැකි මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරින් 04 දෙනාට යැව්වේ. මෙවැනි දෙයකට ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔවුන් දන්නවා," යැයි පූජිත් ජයසුන්දර මහතා පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "මට ස්වාමිනී ඒ වෙද්දි විස්තරාත්මකව උපදෙස් දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙද්දි තිබ්බ දේශපාලන වටපිටාවත් එක්ක කතා කළේම සංහිදියාව ගැන. මට දේශපාලනිකව පීඩා ආවා. වැඩේ කෙරෙන්නත් ඕනේ. හැබැයි අනිත් පැත්තට චෝදනා එන්නත් පුළුවන්. ඒ නිසයි මම මේ ලිපිය මේ විදිහට මගේ පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට යොමු කළේ. අනික මම මේ වෙලාව වෙද්දි රටේ නායකයා මාත් එක්ක තිබ්බ අමනාපකම් සහ ගැටලු ගොඩකින් පීඩා විඳලා හිටියේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මම රාජකාරිය පැහැර හැරියා කියලා. මොකද රාජ්‍ය බුද්ධි සේවය හෝ කවුරුන් හෝ මට ත්‍රස්තවාදි ක්‍රියා ගැන තොරතුරු දිලා තිබුණේ නැහැ. කියලා තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් අභිප්‍රේරණය කරනවා කියලා විතරයි," යනුවෙන් ජයසුන්දර මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

Last modified on Tuesday, 29 September 2020 08:12