May 03, 2024

ඇමැති සරත්ගේ “බුර්කා තහනම“ පුස්සක්? කැබිනට් පත්‍රිකාව නෑ

බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ එම කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මේ අතර බදු අඩු කිරීම සහ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැඩි අවධානයක් යොමු වු බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

"බදු අඩුකරපු එක ජනතාවට දැනෙන්නේ නෑ කියන එක ගැන කතා කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් කැඳෙව්වා. විශාල බදු මුදලක් අඩු කරලා තියෙනවා. ඒක ජනතාවගේ අතට යන විදිහට වැඩපිළිවෙල හදන්න කියලා උපදෙස් දුන්නා. බුර්කාව සම්බන්ධයෙන් කිසිම කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙනාවේ නෑ. ඒ ගැන සාකච්ඡා කළෙත් නෑ," අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් පසුගිය සිකුරාදා දිනයේ අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළකර තිබේ.

මෙරට පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට මුස්ලිම් ජනාතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවය.

මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.

Rate this item
(0 votes)

Related items