May 21, 2024

කාබනික පොහොර වලින් තවත් අපද්‍රව්‍ය හමු වෙයි

December 16, 2021

ප්‍රමාණවත් ලෙස පොහොර නොමැතිව බොහෝ ප්‍රදේශවල ගොවින් පිඩාවට පත්ව ඇති පසුබිමක ලැබුණු පොහොරවල පවා කිරිමැටි, ලී කැබලි ආදී දේ අන්තර්ගතව තිබීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති ආකාරය මේ දින වල වැඩි වශයෙන් වාර්තා වෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේ එලෙස බෙදා දුන් පොහොර තොගයක තිබී ටයර් කැබලිද හමු වී තිබෙනවා.

මෙවර මහ කන්නය සඳහා මිහින්තලේ ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී තිබු පොහොර තොගයක් පරික්ෂා කිරීමේදී එහි තිබී ටයර් කැබලි හමු වී තිබෙනවා.

ගොවින් ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වුවා,

"මම ගෙනාවා දැන් ඩිස්කවරි කියලා එකක් ගොයමට යොදන්න දින 45න්. රතු කුඩු හම්බ වුණා රජයෙන්. ඒකත් එක්ක දැන් මේ කලවම් කරගෙන යනකොට අහු වුනා කැට වගයක්. ඝනකම් කෑලිත් තිබුණා. බලනකොට ඒක ටයර් කෑල්ලක්. මේවා ඉතින් කැඩෙන්නේ නැහැ. රබර් කෑලි තමයි තියෙන්නේ."

ගොවින් ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තවත් ඇසුරුම්වල තිබු පොහොර අතුරින් ටයර් කෑලි මතු වුණා. 

මේ අතර චීන පොහොර නැවට වන්දි ගෙවීම සිදු කෙරෙන්නේ නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සම්මතයකට අනුව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර බවට ප්‍රකාශ කර තිබියදී එම පොහොර ගෙන් වූ පාර්ශ්වයන් විසින් මිස එම පිරිවැය දැරිය යුත්තේ රටේ මහජන මුදලින් නොවන බවයි.

මහ කන්නය සඳහා ලබා දී තිබූ දියර පොහොර කෑන් පුපුරා යාමත් සමඟ ගිරිතලේ පුරාණගම ගොවීන් දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව එම ගොවි සංවිධානයේ ලේකම්වරයා ඊයේ සඳහන් කළා.

ඉන් පසු ගිරිතලේ ගොවි ජන සේවා කාර්යාලයේ නිලධාරීන් එහි පැමිණ ගොවීන්ට අදාළ දියර පොහොර කෑන් බෙදා දීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර, පොළොන්නරුව - ජයන්තිපුර - තඹලවැව යටතේ ගොවිතැන් කරන හේන්කොළවැව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ තමන්ට ලබා දී ඇති කාබනික පොහොර ගෝනි තුළ ඇත්තේ දහයියා අලු, කිරිමැටි සහ ලී කැබලි ආදිය බවයි.

මින්නේරිය ගොවිජන ව්‍යාපාරයට අයත් හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ ගොවීන්ට මෙතෙක් පොහොර නොලැබීමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාව සඳහා අවශ්‍ය පොහොර නොමැතිවිම හේතුවෙන් තම අස්වනු ප්‍රමාණයෙන් කුඩාවී ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට රජය ගෙන ඇත තීරණය විවේචනය කළා.

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොහොර ලේකම් කාර්යාලය ගත් තීන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළහල්මිල්ලෑව ප්‍රදේශයේ දී පැවති ගොවි හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවා.

එහිදී පොහොර නොමැතිව තමන් මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගොවීන් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂැන්හොං මහතා ඊයේ යාපනය ප්‍රදේශයේ සංචාරක නිරත වුණු අවස්ථාවේදීත් මාධ්‍යවේදීන් මතභේදයට තුඩුදි ඇති චින පොහොර නැව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 13:55