May 13, 2024

ශ්‍රීලනිප මහරගම ආසන සංවිධායක ධූරය ප්‍රදීප් ගුණවර්ධනට

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායකවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට පෙර අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසද, රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසද, ලංකා පුවත් සමාගමේ සභාපතිවරයා ලෙසද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙසද, ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙසද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙසද තමන්ගේ සේවා කාලය තුළ එම ආයතන ඉතා දියුණු ආයතන ලෙස වර්ධනය කිරීමට කටයුතු කළ කීර්තිමත් සභාපතිවරයෙකි.

ඔහු කළ කාර්යයන් අතර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හදුන්වා දුන් උපහාර පැකේජය, පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දුන් වෙබ් පාඨමාලා ව්‍යාපෘතිය මූලික වේ.

මීට පෙර නැගෙනහිර කොළඹ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

‍ථේරවාද බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම වෙනුවෙන් විභජ්ජවාද වැඩසටහන සහ ත්‍රිපිටක බෙදාදීමේ වැඩපිළිවෙලට මූලිකත්වය ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා ලෝක ථෙරවාද බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.

ඔහුගේ ස්ථීර පදිංචිය පන්නිපිටිය, කලල්ගොඩ වන අතර එම ප්‍රදේශයේ සමාජ හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරන අයෙකි.

මිට පෙර ශ්‍රීලනිප මහරගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ බස්නාහිර හිටපු පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතායි.

Rate this item
(0 votes)