April 27, 2024

බලය රැකගන්න පොහොට්ටුවට එජාපයේ සහය

බදුල්ල මහ නගර සභාවේ 2022 වසරට අදාල අයවැය යෝජනාව එජාපයේ සහය ඇතිව සභා සම්මත වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අද (27) නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සභාවක් කැදවා තිබෙනවා.

2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සභාව පිහිට වූ අතර එම වර්ෂයේ පටන් අයවැය ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය අයවැයට සහය දක්වා තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිතා කළා.

සභිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත බදුල්ල මහ නගර සභාවේ 2022 වසරට අදාල අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6ක් සහ එක්සත් ජාතික පක්ෂයේ 9ක් පක්ෂව ඡන්දය භාවිතා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4ක් සහ ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනා අයවැයට විරුද්ධව සිය ඡන්දය භාවිතා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරියක් ඡන්දය භාවිතා නොකල අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සභාවට පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව වැඩි ඡන්ද 8කින් බදුල්ල මහ නගර සභාවේ 2022 වසරට අදාල අයවැය යෝජනාව සභා සම්මත වී තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවේ පාලන බලය හොබවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

(ජයලත් දිසානායක - බදුල්ල)

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 20:15