April 26, 2024

ඩයනා, බැසිල් එක්ක එකගතාවයක් තියෙනවා - එහෙම නැත්නම් මෙහෙම වෙන්නෙ නැහැනේ Featured

ඩයනා ගමගේ මහත්මිය හා බැසිල් රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් තිබෙන බවත් එසේ නොවන්නට මෙවැන්නක් සිදු වීමට නොහැකි බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

ඩයනා ගමගේ මහත්මිය හා රාජපක්ෂවරුන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව තම පාර්ශ්වය දැනගත්තේ ඇය මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු සංවිධානය කරන ලද සාදයක ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසුව බවද අත්තනායක මහතා සඳහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනා අතරින් එම බලවේගය නියෝජනය කරන්නේ ගමගේ මන්ත්‍රීතුමිය පමණක් බව සඳහන් කරන අත්තනායක මහතා ඉතිරි මන්ත්‍රීවරුන් 7 දෙනා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ යන පක්ෂ බවද පෙන්වා දෙයි.

ඩයනා ගමගේ මහත්මිය කර තිබෙන්නේ සමගි ජනබලවේගයේ විශ්වාසය කඩ කිරීම බව පෙන්වා දෙන අත්තනායක මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සමගි ජන බලය ගත් තීන්දුවට පටහැනිව ඇය කටයුතු කර ඇති බව ද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ කිසිම රැස්වීමකදී ගමගේ මන්ත්‍රීතුමිය අදහස් නොදැක්වූ බව ද අත්තනායක මහතා සඳහන් කරයි.

මන්ත්‍රී කණ්ඩායමේ පැවැත්වූ අවසාන රැස්වීමට ගමගේ මහත්මිය සහභාගී නොවූ බවද පෙන්වා දෙන අත්තනායක මහතා ඇයට එරෙහිව විනය පියවරක් ගත යුතු බවද සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Last modified on Friday, 23 October 2020 16:49