April 19, 2024

20 වෙනස් වෙයි - ආණ්ඩුවෙන් සංශෝධන 4ක් එයි Featured

September 28, 2020

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම හෙවත් “රටේ ඒකීයභාවය පිළිගන්නා“ යන කොටස නැවත ඇතුළත් කිරීම ඉන් ප්‍රධානම සංශෝධනයක් වන බව රජයේ ආරංචි මාර්ග පැවසීය. 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකු ලෙසත්, එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් ලෙසත්, නව වගන්තියක් ඇතුළත් කිරීමටත්, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනය මෙම සංශෝධනවලට එක් කෙරෙන සිව්වැනි සංශෝධනය වේ.

දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකි බවයි. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් නොව වසර 2 1/2 ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය.

ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබිණි. 

Last modified on Monday, 28 September 2020 09:47

Related items