May 15, 2024

නීති විරෝධි සංචාරක හෝටල් 55ක්! රජයට ලක්ෂ ගණනක මුදලක් අහිමි වෙයි (PHOTOS)

February 08, 2022

කල්පිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශය තුළ අවසර ලබා නොගෙන සංචාරක හෝටල් 55 ක් පවත්වා ගෙන යන බවට ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

කල්පිටිය ප්‍රදේශය තුළ මේ වන විට සංචාරක හෝටල් 109 ක් පවත්වා ගෙන යන බව අප කළ සොයාබැලීමකදී හෙළිදරව් වුණා.

සංචාරක හෝටලයක් පවත්වා ගෙන යාමේදී අදාල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන තිබිය යුතුයි.

නමුත් මේ වන විට කල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගෙන ඇත්තේ හෝටල් 64 ක් සදහා පමණක් බවයි කල්පිටිය ප්‍රාදේශීය සභාව සදහන් කරන්නේ.

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2021 වසර තුලදී කල්පිටිය ප්‍රාදේශීය සභාව රුපියල් 5,24,220 ක ආදායමක් ලබා ගෙන තිබුණා.

ඒ අනුව බලපත්‍ර ලබා ගෙන නොමැති සංචාරක හෝටල් වලින් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් නොලැබී ඇති බවද කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා. 

සංචාරක හෝටල් වලට අමතරව කයිට් සර්ෆීන් (සරුංගල් ක්‍රීඩාව) පවත්වා ගෙන යාම සදහාද ස්ථාන 02 කට කල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

එම බලපත්‍ර ලබා දීම තුළින්ද කල්පිටිය ප්‍රාදේශීය සභාව 2021 වසර තුළ රුපියල් ලක්ෂ 03 ක අදායමක් ලබා ගෙන තිබුණා.

ඒ අතර බලපත්‍ර ලබා නොගත් කයිට් සර්ෆීන් ක්‍රීඩාව පවත්වා ගෙන යන ස්ථාන කීපයක්ම කල්පිටිය ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශය තුළ ඇති නමුත් එම ප්‍රමාණය කොපමණද යන්න ගණනය කර නොමැත.

බලපත්‍ර ලබා දී ඇති සංචාරක හෝටල් පවත්වා ගෙන යන භූමියේ අයිතියේ සීමාවන් නිසි පරිදි මෙතෙක් හදුනා ගෙන නොමැති බවද තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අප විසින් යොමු කරන ලද අයදුම් පත්‍රයකට පිළිතුරු සපයමින් කල්පිටිය ප්‍රාදේශීය සභාව සදහන් කළා.

මේ අතර, කල්පිටිය - මොහොත්තුවාරම දූපත තුළ ඉදිකිරීම් ආරම්භ කරන ලද හෝටල් කීපයක වැඩ කටයුතු අතර මග නතර වී ඇති බවයි එහිදී හෙළිදරව් වුණේ.

කෙසේ නමුත් බලපත්‍ර ලබා ගෙන සහ ලබා නොගන පවත්වා ගෙන යන සියළුම සංචාරක හෝටල් වල පරිසර තත්ත්වය මෙන්ම ඒවායේ ලැගුම් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමේ වැඩ සටහනක් කල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පුත්තලම - ජූඩ් සමන්ත

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 08:25