May 02, 2024

අවුල් වූ ශිෂ්‍යත්ව විභාගයට තවම විසඳුමක් නැහැ

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැමුණු අතර එම විභාගය පසුගිය  22 වනදා පැවැත්වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් පෙනී සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

කෙසේ වුවද සමහර ප්‍රදේශවල ශිෂ්‍යත්ව විභාග පැවැත්වූ මධ්‍යයස්ථානවල ඇතැම් ප්‍රදේශවල දරුවන් විභාග ශාලාවලින් පිටතට පැමිණ තිබුණේ හඬා වැටෙමින් වූ අතර දරුවන්ගේ චෝදනාව වූයේ ඔවුනට බරපතල අසාධාරණකම් සිදු වූ බවයි.

එම සිද්ධීන් අතර ගල්ගමුව යූ.බී වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යයස්ථානයේ විභාගය ලියූ සිසු දැරියන් චෝදනා කළේ සමහර මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් සිසුන්ට උත්තර පත්‍රය ලිවීමට උදව් කළ බවයි. ගල්ගමුව යූ.බී වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්ද අනුයුක්ත කර විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. සිසුන් පවසන ආකාරයට සමහර ශාලවල සිසුන්ට එම සිසුන්ට උගන්වා ඇති ගුරුවරුන්ම විභාග පරීක්ෂකයන් ලෙස ලැබී ඇති බවයි. ඒ අනුව විභාග අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව වාර්තා වුණා.

දෙවෙනි වාර්තාගත සිදුවීම වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ පළමු ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට සිසුන් හට ලබානොදුන් නමුත් ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට එකතු කර තිබීමයි.

ඒ හේතුවෙන් වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පිළිතුරු ලිවූ දරුවන් විභාගයට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව පවසමින් හඬා වැටෙමින් විභාග ශාලාවලින් පිටතට පැමිණි බව වාර්තා වෙනවා. මෙහිදී ඇතැම් දරුවන් පවසා සිටියේ පිළිතුරු ලියමින් සිටියදී ප්‍රශ්න පත්‍රය උදුරා ගත් බවත් අතිරේක කොළ ඉල්ලීමේදී විභාග පරීක්ෂකයන් බැණ වැදුණු බවයි.

මේ හේතුවෙන් දෙවම්පියන් සාධාරණයක් ඉල්ලා වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයක ද නිරත වුණු අතර අසාධාරණයට ලක්වූ දරුවන් ගණන 150ක් පමණ වන බවට දෙමව්පියෝ චෝදනා කරනවා.

දෙමව්පියන් විසින් වැලිමඩ කලාප අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා හමු වී සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඔහු එය මඟහැර යාමට කටයුතු කළද පසුව කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි දෙවම්පියන්ට රෝහිත අමරදාස මහතා පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නා බවයි.

තුන්වෙනි සිදුවීම ලෙස වාර්තා වන්නේ කළුතර නාගොඩ රාජකීය විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමේදී ප්‍රමාදයක් සිදු වීමයි.

නාගොඩ රාජකිය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදි සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් හා දරුවන් කරනු ලබන චෝදනාව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසුවා.

තමන් මේ පිළිබද විභාග මධ්‍යස්ථානයේ සිටි ශාලධිපතිවරු දෙදෙනාගෙන් විමසිමක් කළ බවත් එවැනි සිදුවිමක් සිදු නොවු බවට ශාලාධිපතිවරුන් දෙදෙනා තමන්ට ප්‍රකාශ කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටියා.

නියමිත වේලාවලට ප්‍රශ්න පත්‍රය ලබා දි පිළිතුරු පත්‍ර නියමිත වෙලාවට එකතුකර ගත් බවට ශාලාධිපතිවරුන් දෙදෙනා ප්‍රකාශ කළ බවත් මේ සම්බන්දයෙන් විභාගයට පෙනි සිටි දරුවන් දෙමව්පියන් පිරිසක් කරනු ලබන චෝදනාව සම්බන්දයෙන් පරික්ෂණයක් සිදු කරන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී ලබාදී නියමිත වෙලාවට කලින් එකතු කරගත් බවට දෙමව්පියන්ට ප්‍රකාශ කොට තිබෙනවා. ඒ සමග දෙමව්පියන් පිරිසක් හා ගුරුවරුන් අතර වචන හුවමාරුවක්ද ඇති වි තිබෙනවා. මේ පිළිබද  මෙම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් නාගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

සිව් වැනි සිදුවීම ලෙස වාර්තා වන්නේ හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා විද්‍යාලයෙන්. පළමු ප්‍රශ්න පත්‍රයේ සිංහල විභාග පත්‍රය දමිල සිසුවියන්ටත්, දමිල සිසුවියන්ගේ ප්‍රශ්න පත්‍රය සිංහල සිසුවියන්ටත් ලබා දි ඇති බවත්, පසුව ඒ පිලිබදව සිසුවියන් දෙපාර්ශවයෙන්ම ශාලාධිපතිනියට දැනුම් දිමෙන් පසු යලිත් එම ප්‍රශ්න පත්‍ර එකතු කර නිවැරදි ආකාරයට යලිත් ලබා දිමේදි යම් කිසි කාලයක් ගත වුවත් එම ගත වු කාලයට විභාගයට පිලිතුරු සැපයිමේදි අමතර කාලයක් ලබා නොදුන් බවයි එම විභාගය සදහා පෙනි සිටි සිසුවියන් සහ සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

ශිෂ්‍යත්ව විභාගයේදි සිංහල මාධ්‍යයෙන් පෙනි සිටි සිසුවියන් 28 දෙනෙකුට ශාලාධිපතිනිය ඇතුළු විභාග කාර්ය මණ්ඩලයෙන් අසාධාරණකම් රැසක් සිදු වි ඇති බව පවසමින් එම සිසුවියන්ගේ දෙමව්පියන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි පිටපතක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒ.ආර්.සත‍යෙන්ද්‍රා මහත්මිය වෙත අද (24) දින භාරදෙනු ලැබුවා.

තවද විභාග ප්‍රශ්න වලට පිලිතුරු සපයමින් සිටින අවස්තාවේ විභාග ප්‍රවේශපත්‍රයට අත්සන් ලබා ගැනිමට යම් කිසි කාලයක් වැය වු බවත්, ඒ තුලින් ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිමේ අවධානය වෙනතකට යොමු වු බවද විභාගයට පෙනි සිටි සිසුවියන් කියා සිටිනවා.

ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු සැපයිමේදි කටු කොලය විනාඩි 30 පමණ කාලයක් ප්‍රමාද වි ලබා දුන් බවත්, එම කටු කොල දෙකකට පමණක් සිමා කිරීමට ශාලාධිපතිනිය සහ විභාග කාර්ය මණ්ඩලය කටයුතු කර තිබු බවයි සිසුවියන් කියා සිටියේ.

ශාලාධිපතිනියගෙන් සහ විභාග කාර්ය මණ්ඩලයෙන් සිදු වු ප්‍රමාදයන්ට අදාලව ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු සැපයිමේදි අමතර කාලයක් ලබා නොදුන් බවත්, ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු සපයමින් සිටියදි ප්‍රශ්න පත්‍ර යලිත් එකතු කර ඇති බවයි එම සිසුවියන්ගේ දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.

ශිෂ්‍යත්වය සදහා පෙනි සිටි සිසුවියන් සහ ඔවූන්ගේ දෙමව්පියන් නගන චෝදනා සම්බන්ධයෙන් අප එදින එම විද්‍යාලයේ ශාලාධිපතිනිය වශයෙන් කටයුතු කල මැඩොනා පිරෙයිසුඩෙයි මහත්මියගෙන් කල විමසුමකට ඇය කියා සිටියේ විභාගය සදහා පෙනි සිටි සිංහල මාධ්‍යයේ සිසුවියන් සහ ඔහුන්ගේ දෙමව්පියන් නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

විනාඩි පහක පමණ යම් ප්‍රමාදයක් එදින ඇති වු බවත්, ඒ පිලිබදව ලොග් සටහනක් තබමින් විභාගය සදහා පෙනි සිටි සිසුවියන්ට එම අමතර කාලය ලබාදිමට තමන් පියවර ගත් බවයි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතරතුර ඇතැම් පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවා.

කෙසේ වෙතත් යම් සිසුවෙකුට හානියක් සිදු වී ඇත්නම් ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා මෙසේ ද සඳහන් කළා,

"යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂණ කරනවා. මධ්‍යස්ථාන 3ක මේ චෝදනාව ආවා. ගාල්ල නාගොඩ රාජකීය මහ විද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, යූ. බී වන්නිනායක විද්‍යාලය. ලැබුණු ඇමතුම් ගැනත් අපි විමර්ශනය කරනවා. ඒත් වෙලාව ප්‍රශ්නයක්. ප්‍රධාන වශයෙන් ආපු චෝදනාව තමයි ප්‍රශ්න පත්‍රය වෙලාවට දුන්නේ නෑ. වෙලාව අඩු වුණා නම් කාලය දීර්ඝ කළේ නෑ කියලා. හානියක් වෙලා තියෙනවා නම් සාධාරණයක් කරනවා. පරීක්ෂණ 3ක් කෙරෙනවා. උත්තර පත්‍ර අපිට ඇවිල්ලා තියෙනවා. අද උදේ මම උපදෙස් දුන්නා ඒ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර වෙන් කරන්න කියලා."

Rate this item
(8 votes)
Last modified on Monday, 24 January 2022 14:11