May 07, 2024

ගෑස් නිසා මරණ 7ක්! දේශබන්දු ආන්දෝලනාත්මක අනාවරණයක!

December 20, 2021

ගෘහස්ත ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව අනතුරු වාර්තා වීමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සාමාජික බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගෑස් අනතුරු සම්බන්ධව විශේෂ වාර්තාවක් සකස් කොට තිබෙනවා.

මෙම වසර තුළ දිවයින පුරා සිදුව ඇති ගෑස් අනතුරු ප්‍රමාණය සහ ඉන් සිදුව ඇති හානි ආදිය පිළිබඳ තොරතුරු එහි අන්තර්ගත යි.

වසරේ ගෑස් අනතුරු ප්‍රමාණය

2021 වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම් 847ක් වාර්තා වී ඇති බව යි එම වාර්තාවෙහි දැක්වෙන්නේ.

එම සිදුවීම් අතර ගෑස් සිලින්ඩරයට හානි වීම් ඇත්තේ එක සිදුවීමක පමණක් බව සඳහන්.

ඊට අමතරව අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යයකට හානි සිදුවීම් 3ක්, රේගියුලේටරයට හානි සිදුවීම් 15ක්, ගෑස් බටයට හානි වීම් 52ක්, ගෑස් කාන්දුවීම් 299ක් සහ ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳී යාම් හා ගෑස් ලිප් පුපුරා යාම් 477ක් වන බව අදාළ වාර්තාව මගින් තෙන්නකෝන් මහතා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කරන්නේ මෙම සිදුවීම් 847 අතුරින් 797ක්ම ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුව ඇති බව යි.

ලාෆ් සිලින්ඩර් ආශ්‍රිතව වාර්තා වී ඇති සිදුවීම් ගණන 50ක්.

මරණ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මේ අතර ගෑස් අනතුරු සම්බන්ධයෙන් සිදුව ඇති මරණ පිළිබඳව ද මෙම වාර්තාවෙහි විශේෂ අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම වසරේ ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වූ අනතුරුවලින් මරණ 7ක් සිදුවී ඇති බව යි.

ගෑස් සම්බන්ධ අනතුරු පිළිබද මාධ්‍ය තුළින් වාර්තා වුවත් ගෑස් සම්බන්ධ මරණ මෙතරම් ප්‍රමාණයක් මෙම වසර තුළ මෙරට තුළින් වාර්තා වූ බවට ජනතාව දැනුවත් නොමැති පසුබිමක මෙම අනාවරණය ආන්දෝලනාත්මක බවක් ගනු ලබනවා.

මාරාන්තික අනතුරු

මාර්තු 20 වන දා තලාතුඔය ප්‍රදේශයේ දී, මාර්තු 24 වන දා මරදාන ප්‍රදේශයේ දී, සැප්තැම්බර් 24 වන දා වැලිකඩ ප්‍රදේශයේ දී, සැප්තැම්බර් 15 වන දා කොට්ටාව ප්‍රදේශයේ දී ද, ඔක්තෝබර් 21 වන දා කඳපොළ ප්‍රදේශයේ දී, නොවැම්බර් 19 වන දා මාතලේ ප්‍රදේශයේ දී සහ දෙසැම්බර් 1 වන දා මහනුවර ප්‍රදේශයේ දී මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර ගෑස් අනතුරු සම්බන්ධ තුවාල සිදුවීම් 16ක් ද වාර්තා වී ඇති බව අදාළ වාර්තාවෙහි දක්වා තිබෙනවා.

ඊට අමතරව දේපළ හානි 18ක් වාර්තා වී ඇති බව යි එහි සටහන්ව ඇත්තේ.

ප්‍රමිතිගතයි කියූ ගෑස්

ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු රැල්ලක් පැමිණීමත් සමග ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් හඳුනා ගැනීම සඳහා ලිට්‍රෝ සමාගම විසින් රතු පැහැති ලේබලය සහිතව සිලින්ඩර් නිකුත් කිරීම ආරම්භ කළා.

සිය වාර්තාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එලෙස රතු ලේබලය සහිතව ගෑස් නිකුත් කිරීමෙන් පසු ද සිදුවීම් 12ක් වාර්තා වී ඇති බව යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 18:13