පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ඔහුගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ගුණරත්න මහතා පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාව යටතේ හිටපු ජනපතිවරයාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙන බවට යන රාවය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් මෛත්‍රී ගුණරත්න මහතා මේ බැව් අනාවරණය කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම තොරතුරු ඒකරාශි කිරීමේ කොමිසමක් මිස නෛතික බලයක් ඇති කොමිසමක් නොවන බවද පෙන්වාදෙන ගුණරත්න මහතා එවන් කොමිසමකට නෛතික තත්වයන් සම්බන්ධයෙන් නිගමන වලට පැමිණීමට බලයක් නොමැති බවද අවධාරණය කරයි.
හිටපු ජනපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම හමුවේ මෙන්ම දේශපාලන පලිගැනීම් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ගිය සෑම අවස්ථාවකදීම හිටපු ජනපතිවරයාගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන ලද්දේ මෛත්‍රී ගුණරත්න මහතාය.