May 12, 2024

ආණ්ඩුවේ ලොකු තැන්වලට පත් කළ වියතුන් නිසා වැඩ අවුල් - ආණ්ඩුවේ ප්‍රබලයින් ජනපතිට දන්වයි

ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත් කළ විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් අපේක්ෂිත සේවාව සිදුනොවන බවට ආණ්ඩුවේ නියෝජිතයින්ගෙන් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සංවිධාන නියෝජිතයෝ චෝදනා කරන්නේ වත්මන් රජය බලයට පැමිණි පසු පත්කළ ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අපේක්ෂා කළ සේවාවන් ඉටු නොවන බවයි.

ඔවුන් මෙම චෝදනාව කළේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ වැලිපාර්ක් හිදී පවත්වන ලද පොහොට්ටුවේ වෘත්තීය සංවිධානවල නිලධාරීන්ගේ හමුවේදීය.

මේ අවස්ථාවට මෙරට නීතිඥ, ඉංජිනේරු, රූපලාවණ්‍ය, පෞද්ගලික බස් ආදී ක්ෂේත්‍රවල සිට ශාන්තිකර්ම කරන සම්ප්‍රදායික ශිල්පීන්ගේ සංවිධානද ඇතුළත්ය.

මෙම හමුව නුගේගොඩ වැලිපාර්ක් හිදී පවත්වන ලද්දේ රජය විසින් සිදුකරන ලද පාරිසරික සංවර්ධන ප්‍රයත්නය ගැන වෘත්තීයවේදීන් දැනුවත් කිරීමේ අරමුණිනි.

ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කරන ලද වියතුන් අතින් වැඩ අවුල් වන අවස්ථාද ඇති බව මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වමින් වෘත්තීයවේදීන් ගණනාවක්ම පෙන්වා දී ඇත.

මෙම විද්වතුන් උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත විද්වතුන් වුවද ඔවුන් දේශපාලනයට සංවේදීව බුද්ධිමත් ලෙස කටයුතු නොකිරීම නිසා බරපතළ ප්‍රශ්න හටගත් බවද ඔවුහු පෙන්වා දී තිබේ.

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බවද කියා සිටියේය.

Rate this item
(3 votes)

Related items