May 19, 2024

පාසල් නිල ඇඳුම් වවුචර් අහෝසියි - යළිත් රෙදි ලබාදීමට තීන්දුවක්

September 29, 2020

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට පෙර පරිදි රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)  පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය.

මේ අතර ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (28) දින රෙදි නිෂ්පාදනය සිදුකරනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය.

සුළු සහ මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt.) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැයකර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්තකරුවෝ පවසන අතර ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ඔවුන් සඳහන් කරන ලදී.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill  (Pvt) Ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

රුපියල් මිලියන 2,000ක ආයෝජනයකින් ස්ථාපිත කළ එම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිට වසා තබා තිබූ අතර කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොළීයක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කර රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත.

එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

Rate this item
(0 votes)