April 29, 2024
Main

Main (651)

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට යන බව පැවසුවද ඔහු එහි ගොස් ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් ලබාගෙන ඇතැයි ආනන්දන් කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ දේශපාලනඥයන්ගේ තීරණය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා එලෙස පැවසීය.

දෙමළ ජාතික සන්ධාන නායකයන් එදා මෙදා තුර කාලයේ ඉන්දියාවේ උපදෙස් අනුව ක්‍රියා කළ බවත්, තම පක්ෂයද දෙමළ ජාතික සන්ධානය තුළ සිටි අවධියේ අදාළ කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවෙන් අවබෝධය ලබාගත් බවත් හෙතෙම පැවසුවේය.

සුළු ජාතීන්ගේ සිත් දිනාගන්නා නායකයා මෙවර ජනාධිපති වන බවත්, ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් දකුණේ සිංහල ඡන්ද සම සමව හිමිවනු ඇති බවටත් තමන් විශ්වාස කරන බව ආනන්දන් කියයි.
සුළු ජාතීන්ගේ ඡන්දයේ වටිනාකම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකවරුන් සිතා බලා කටයුතු කිරීම හමුවේ එම අපේක්ෂකවරුන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවද ආනන්දගේ අදහස වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගතව සිටි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව ගොඩ ගැනීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත සෘජුවම ප්‍රකාශ කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක සිය නියෝජ්‍ය නායකයාට මේ බව පවසා තිබෙන්නේ ඉකුත් 6 වැනිදා අරලියගහ මන්දිරයේදී මෙම දෙපළ අතර පමණක් පැවති සාකච්ජාවේදීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයට විසදුම් සෙවීම එම සාකච්ජාවේ අරමුණ විය.

මෙම සාකච්ජාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා හොඳින් හෝ නරකින් සිය අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන ආරම්භ කරන ලදී.

ඉකුත් 12 වැනිදා බදුල්ලේ රැළියක් පැවැත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

අදාළ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් සිදුකළ යුතු බවත්, ඉදිරි දිනවලදී මධ්‍යම කාරක සභාව රැස්වන බවත් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පුවත්පතකට සඳහන් කර ඇත.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ගෙදරකට බලු පැටියෙක් ගේන කොට උගේ අම්මා තාත්තා ගැන සොයා බලා උගේ වර්ගය ගැන හොයන  නමුත් රට පාලනය කරන කෙනෙක්ව,රටේ නායකයාව තෝරන  වෙලාවේදී ඡන්දය පාවිච්චි කරන විට ඒ කෙනාගේ වර්තමාන කෙරුම් ගැනවත් ඉතිහාසය ගැනවත් සොයා බලන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

අක්මීමණ  මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ රැස්වීමේදී ඔහු මේ බව  පැවසීය.

2015 දී අපි පැරදුණේ  තරුණ ඡන්දයෙන්. නමුත් සමහරු කියනවා උතුරු නැගෙනහිර ඡන්දයෙන් කියලා. එක වැරදියි. තරුණ තරුණියන් අපිට විරුද්ධවයි හිටියේ. අම්මා තාත්තා අපට ඡන්දේ දෙද්දී දුලා පුතාලා දුන්නේ නැහැ. වර්තමානයේ මේ දුලා පුතාලට ලොකු වගකීමක් තියෙනවා. අවුරුදු 21න් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා රටට විශාල වැඩ කොටසක් කළා.

තරුණයන්ට රැකියා ලබා දුන්නා. උපාධිධාරීන්ට රැකියා දුන්නා. වරාය හැදුවා, ගුවන් තොටුපොල හැදුවා. රට තුළ පැවති  ත්‍රස්තවාදය නැති කළා. නමුත් 2015 දි  මහින්ද මහත්තයාට විරුද්ධව ඡන්දය ඉල්ලන්න පැමිණි අපේ පක්ෂයේ හිටපු කෙනා එදත් වැඩක් කළේ නැහැ. මේ අවුරුදු හතරහමාර තුළත් කළ දෙයක් නැහැ.

මේ රටට ජංගම දුරකථන හඳුන්වා දුන් කෙනාම ෆේස්බුක් වලින් පරාජය කරන්න කටයුතු කළේ තරුණ තරුණියන්. සමහරු කියනවා උනුත් එකයි මුනුත් එකයි කියලා. පාර්ලිමේන්තුවේ 225 ම වැරදියි කියන මතයකුත් දැන් ගෙනියනවා.

අපි ඡන්දයට එනවිට රට කරවපු ඇත්තන්ගේ ඉතිහාස කෙරුම් ගැන සොයා බලන්න ඕන. තරුණයින්ට  තැන දෙන රජයක් පිහිටුවා ගත යුතුයි. ඒ සඳහා අප සංවිධානගත  විය යුතුයි. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ තරුණ සමිති මේ වනවිට ක්‍රියාත්මක වෙනවා යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂත්වයට හා පක්ෂයේ නායකත්වයට නායකයින් පෙළක් සිටින බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ඊයේ (09) ගාල්ල නගරයේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයට නායකින් පෙළක් සිටින අතර, එක් පවුලක් මත එල්ලෙන පක්ෂයක් නොවන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

“රාජපක්ෂ සරණන් ගච්ඡාමි“යැයි පවසා අයියා මල්ලි පසු පස නොයන බවත් පැවසු ඒ මහතා, ජනතාව ආදරය කරන අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් කරන බවද කියා සිටියේය.

පක්ෂය තුළ කටවල් වහගෙන සිටින්නේ ඇස් කන් නොපෙනන නිසා නොව පක්ෂයේ සමඟිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා යැයි
ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහෙත් එක්සත් ජාතික පක්ෂ නොවන අපේක්ෂකයෙක් පක්ෂයේ උදව්වෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් “බන්දුලාල් බණ්ඩාරීගොඩ නම් මෙන්න ආයුබෝවන් කියලා, අවුරුදු 5ක් පොඩි විවේකයක් ගන්න සුදානම්“ යනුවෙන් සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා සටන් කිරීමට සිදු වන බව මධ්‍ය පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක අපේක්ෂකත්වය කිසිවෙකුටත් පිරිනමා නොමැති බවයි.

ඉතිහාසය පුරාම එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් ආසන්න වු විට අර්බුධකාරී තත්ත්වයන් ඇති කරගන්නා බවත් අද වන විට එහිම දිගුවක් දැකිය හැකි බවත් ඒ මහතා පවසයි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කිසා සිටියේ සටන් කිරීමකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් විය නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතාට ද අපේක්ෂකත්වය අවශ්‍යනම් සටන් කළ යුතු වන බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අගෝස්තු 11 වැනිදා කොළඹදී පැවැත්වෙන ජාතික උත්සවයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජපක්ෂ කඳවුරට සමීප ආරංචි මාර්ග හරහා හෙළිදරව් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත කාඩරයම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිගන්නා එක මතයක සිටින බවද වාර්තා වේ. 

ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමෙන් පසු එළඹෙන සතිය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ ඇති බොහෝ ආගමික සිධස්ථාන වෙත යාමට නියමිතව තිබේ.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීපතමයන් විසින් ජනාධිපතිවරණය සඳහා වූ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට සහ දිගන සිද්ධියෙන් දේපළ හානිවුවන්ට වන්දි ලබා දිමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්විය.

පක්ෂය වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා පැමිණ සිටි සියලුදෙනාට ස්තූතිය පළ කළේය.

මීට පෙර මෙම වන්දි ලබා දීමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවද මෙහිදී අගමැතිවරයා පැවසීය.

කෙසේ හෝ දුන් වචනය කඩ නොකර ලබා දුන් පොරොන්දුව ඉෂ්ඨ කළ බවත් පැවසු අගමැතිවරයා රංගේ බණ්ඩාර මහතා දේශාපාලන වශයෙන් මේ වන විට දුක් විඳ ඇති බවත් පළි ගැනීමක් හේතුවෙන් ඇමතිකමත් ලැබී නැති බවද කියා සිටියේය.

එක් කණ්ඩායමක් දේශාපාලන පළිගැනීම්වලට ලක් වු බවත් පැවසු අගමැතිවරයා, අනෙක් අය ජාතිවාදයට ලක් වු බවද පැවසීය.

සමහර දේශාපලඥයින් ජාතිවාදයෙන් ජයගැනීමට උත්සහ ගන්නා බවද පැවසු අගමැතිවරයා, එසේ කල නොහැකි බවත් දියුණු රටක් විය යුතු බවත් එසේ වීමට නම් ආර්ථික ආදායමෙන් මැන බැලීම පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

දියුණු රටක් වීමට නම් ශිෂ්ට සම්පන්න ක්‍රියාමාර්ග තිබිය යුතු බවත් එවැනි රටක මෙවැනි දේශපාලන පළිගැනීම් නැති බවත්, එමෙන්ම ජාතිවාදී අරගල ද නැති විය යුතු බවද පැවසු වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් නැති කළ විටත් ජාතිවාදය නැති කළ විටත් ඉදිරියට යා හැකි බවද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඊයේ (05) රාත්‍රී මෙම හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම අභාවප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය  නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ.

ඉදිරි ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ නම් සිය උපරිම සහාය ලබාදීමටද මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව එම කොංග්‍රසයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත නොහැකි තත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන ස්ථාවරයේ පවතින ගැටළුකාරී තත්වයත් මත ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් බහුතරයක් දෙනෙකු අතරේ  රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බව එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පුවත්පතකට සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරමින් මෙම ස්ථාවරයට පැමිණි බවත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වශයෙන්ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම ස්ථාවරය සජිත් ප්‍රේමදාස පමණක් බවත් එම ප්‍රකාශකයා පවසා ඇත.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොපිළිගන්නා නායකයෙකුට ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග හා සාකච්ඡා කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුව ඇතැයිද පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබදවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.