May 02, 2024

සජිත්ව හදිසියේම කොළඹට කැඳවයි Featured

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමාව හදිසියේ ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.

ඇඹිලිපිටිය ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ හතළිහක වියදමින් ඉදිකළ තනිමහල් දහම් පාසල් ගොඩනැගිල්ල ඊයේ (29) සවස සජිත් පේ‍්‍රමදාස මහතා අතින් විවෘත කෙරිණි.

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර එදින සවස 04.00ට ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණි නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා එහි පැමිණෙන විට සවස 05.00 පමණ විය.

ශ‍්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය , සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් පසුව පැවැති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‘‘මට දැන් අගමැතිතුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලා . ඒ නිසා උත්සවයේ න්‍යාය පත‍්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත‍්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න යැයි’’ පවසා විනාඩි පහළොවක පමණ කතාවක් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා හමුවීමට කොළඹ බලා පිටත්ව ගියේය.

Last modified on Friday, 30 August 2019 11:35