April 27, 2024

’’පොල් ප්‍රදර්ශන’’ පිටරට පවත්වන්න කෝටි 13ක් ගිහින්! වැඩිපුර මුදල් නිලධාරීන්ගේ ගුවන් ගමනට

පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාව මගින්.

මින් එක් කෝටි තිස්පන් ලක්ෂයකට වැඩි මුදලක් වැයවී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ගමන් සඳහා යැයි එම කමිටුව පෙන්වා දෙනවා.

විදේශ ප්‍රදර්ශන සඳහා මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ 2017 - 2019 අතර කාලයේදීය.

විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා මෙපමණ විශාල මූල්‍ය ප්‍රාග්ධනයක් වැය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

එසේම මෙම ප්‍රදර්ශනය සඳහා විදේශගත වන නිලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් දැනීමක් සහිත නිලධාරින්ද යන වග පරීක්ෂාකර වාර්තා කරන ලෙසට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ අතර පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 27දෙනකුට කෝටි දෙකකට ආසන්න මුදලක් කම්කරු දීමනාවක් ලෙස 2011- 2015 අතර කාලයේදී ගෙවා ඇතැයි එම වාර්තාවේ සඳහන්.

මෙම මුදල අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයිද එම කමිටුව චෝදනා කරනවා.

Rate this item
(0 votes)