April 28, 2024

බන්දුලගේ බඩු මල්ල හිස්

December 27, 2021

පාරිභෝගිකයින් සතොස මඟින් මේ මස 31 වනදා දක්වා සහන මල්ලක් ලබා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කළා.

රුපියල් 1998ක මුදලකට ලබා දෙන එම සහන මල්ලේ සම්බා සහල් කිලෝ 10ක්, සිනි, තේ කොල, සබන්, නූඩ්ලස්, හාල්මැස්සන් අන්තර්ගත බවයි ඔහු පැවසුවේ.

එම සහල් මල්ල මිලදී ගැනීමට ජනතාව සතොස වෙළඳසල් වෙත පැමිණියත් ඇතැමුන්ගෙන් චෝදනාවක්ද එල්ල වුණා.

"ඇමතිතුමා කිව්වා විදියට නැහැ නාඩු හාල් කිලෝ 10ක් තිබ්බේ. බජට් පැකට් එක නම් එච්චර සාර්ථක නැහැ."

"බඩු නැහැ ඇතුලේ"

"මලු තියෙනවා හිස් මලු"

"ඇමතිගොල්ලෝ කියනවා. අපිට නැහැ බඩු."

"ගිනි ගින්දර තමයි ඉතින්."

"පිටි නැහැලු, සීනි නැහැලු. අනේ මන්දා ඉතින්"

"තියෙන දෙයක් දැන් අරගෙන කන්න ඕනෙනේ.මොනවා කරන්නද?"

"අත්‍යවශ්‍ය බඩු කියලා නම් මුකුත්ම නැහැ වගේ."

"කිරි පිටි නැහැනේ, ළමයින්ට කිරි බොන්නවත් විදියක් නැහැ."

මේ අතර, වෙළඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි වෙළඳුන් එළවළු නොමැතිවීම හේතුවෙන් පත්වූයේ දැඩි දුෂ්කරතාවයකටයි.

භාණ්ඩ මිල සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ඊයේ සහ අද (27) විරෝධතා සංවිධාන කර තිබුණා.

ගොඩකවෙල නගරයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතා සඳහා එක්වූ පිරිස් පන්දම් දල්වාගෙන පෙළපාලි යමින් විරෝධයේ නිරත වූයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි.

උත්සව සමය හේතුවෙන් හෙට සිට දෙසැම්බර් 31 දක්වා සතොස හරහා පුද්ගලයෙකුට සහල් කිලෝ 10ක් එක් වරකදී ලබා ගත හැකි බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර, පොහොර සහ පළිබෝධ නාශක නොමැතිවීම නිසා වගා හානි වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කළේ.

එමෙන්ම බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් කියා සිටියේ එළවළු ලැබීම සියයට 60කින් පමණ පහත වැටී ඇති බවයි.

පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහන මල්ල සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා,

"මේ භාණ්ඩ ටික වෙළෙඳපොළේ එක ආයතනයක රුපියල් 2,751යි. තවත් ආයතනයක රුපියල් 2,489ක්. අපි සතොස හරහා දෙන්නේ රුපියල් 1,998කට. අපි මේ භාණ්ඩ ටික ගෙදරටම ගෙනල්ල දෙන්න හැදුවා. එතකොට සතොසෙ භාණ්ඩ නෑ කියන කතාව නැති වෙනවා නේ." 

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කළ හැකි බවත් සඳුදා සිට බෙදාහැරීමේ කටයුතු ඇරඹීමට සතොස කටයුතු සංවිධානය කර තිබෙනවා.

0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 18:17