May 03, 2024

රන්ජන් බලන්න සජිත් යයි! රන්ජන් නිදහස් කරන ජනපතිගේ තීන්දුව කඩිනමින් (VIDEO)

රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (26) අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට පැමිණි විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව සඳහන් කළා.

රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්, අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත් තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් හෙතෙම ප්‍රකාශ කළා.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළා.

රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවත්, එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළයුතු දෙයක් බවත් ඒ මහතා කියා සිටියා.

සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වන ලෙස විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටියා.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනමින් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසුවා.

Rate this item
(9 votes)
Last modified on Tuesday, 26 October 2021 15:19