May 03, 2024

ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා ඇහෙන අදෝනාව ගැන සජිත් කියයි

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව, ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද කියා සිටියා. 

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ  කැස්බෑව නගරයේ පැවති "පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ" මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි. 

ගජමිතුරු කල්ලි වාදයත්, විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ හෙතෙම ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසුවා.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික  අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන් ,නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද සඳහන් කළා.

Rate this item
(0 votes)